සෞදියේ නිවසක වසර 28කට ආසන්න කාලයක් සිරකර සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලිඛිතව දන්වා යවා ඇති බවයි.
වසර 28 කට ආසන්න කාලයක් සෞදියේ නිවසක සිරකර සිටී ඇගල්ල මුහන්දිරම්ලාගේ කමලාවතී මහත්මිය පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණියා.
ඇය සේවය කළ නිවසේ හාම්පුතා ඇයව දිවයිනට එවා ඇත්තේ, තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් මගින්.
මේ වන විට 75 වැනි වියේ පසුවන ඇය හිඳගහවැව, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
කුලියාපිටිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් හරහා ඇය සෞදියේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ, 1995 මැයි 17 වැනිදායි.
ඊට වසරකට පසු පවුල හා ඇය අතර සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබෙනවා.
ඇයගේ පුත්‍රයා පැවසුවේ, සිය මව පිළිබඳ කිසිඳු තොරතුරක් නොවීම සම්බන්ධයෙන් 1999 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල කළ බවයි.
සෞදියේ ඇය සේවය කළ නිවසේ හාම්පුතා වසර 29 කට පසු පසුගිය 10 වැනිදා ඇයව රහසිගතව දිවයිනට එවා ඇත්තේ, ඇය දැඩිව රෝගාතුරව සිටියදී යි.
මේ වන විට කමලාවතී මහත්මියගේ මතකය ගිලිහී ගොස් ඇති අතර, දිවයිනට පැමිණ දින තුනක් ගුවන් තොටුපොළ සහන පියසේ රැඳී සිට ඇති ඇය ලබා දුන් තොරතුරු මත පසුගිය 13 වැනිදා දරුවන් පැමිණ ඇයව නිවෙස වෙත රැගෙන ගොස් තිබෙනවා.
කමලාවතී මහත්මියගේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරදෙන ලෙසයි.