ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස සිටියදී වෙනත් අපේක්ෂකයෙකුගේ මැතිවරණ වේදිකාවට ගොඩවීම මැතිවරණ නීතිය කඩකිරීමක් වන නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මානගේ මහතාට ලිපියක් යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
ප්‍රේමසිරි මානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා තංගල්ල මාතර සහ ඒ අවට ප්‍රදේශවල පැවති රැස්වීම් ගණනාවකටම සහභාගි වී ඇති බවත් සමහර රැස්වීම් අමතා ඇති බවත් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාට තොරතුරු අනාවරණය වීමෙන් පසු විමර්ශනයක් පවත්වන ලෙස නිලධාරීන්ට උපදෙස්දී තිබෙන බව පැවසෙනවා.
මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසා තිබුණේ කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට නීතියෙන් ඉඩකඩක් නැති බවයි.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් කාලය ලබාදීමේදීද යම් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කර තිබුණා.
මානගේ මහතා 2004 – 2010 අතර කාලයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ප්‍රේමසිරි මානගේ මහතා පවසා තිබුණේ තමා සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් අසලින් ගමන් ගත් අවස්ථාවේදී ජනතාවගෙන් කෙරුණු ඉල්ලීම් අනුව තමා එම රැලිවලදි ජනතාව වෙනුවෙන් අදහස් පළ කළ බවයි.
අපේක්ෂකයන් තිදෙනෙකුට මනාප ලකුණු කිරීමට මැතිවරණ නීතිය අනුව හැකියාව තිබෙන හෙයින් ඒ අනුව යමින් තමාට පළමු මනාපයදී ඊට පසු දෙවැනි මනාපය වශයෙන් අපේක්ෂකයෙකු තෝරාගන්නා ලෙස එහිදී ජනතාව දැනුවත් කළ බව ඔහු පවසා තිබෙනවා.
මෙහිදි මැතිවරණ නීතියේ ඇති දෙයක් ගැන දැනුවත් කළා මිස වෙනත් නීති විරෝධී ක්‍රියාවක් නොකළ බවද මානගේ මහතා පැවසු බව සඳහන්.