23 C
Colombo
Saturday, February 4, 2023

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම තවත් උගුලක් ද?

- Advertisement -

2014 දී ශ්‍රී ලංකාවේ පැවතියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවකි. චීන ජනපති ෂි ජිං පිං අවසන් වරට මෙරට සංචාරයක නිරත වූයේ 2014 සැප්තැම්බර් 16 වැනිදාය. එම සංචාරයේ අරමුණු ලෙස එවකට මෙරට සහ චීනයේ ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද පුවත් කිහිපයක් විය. ඒ අතරින් වඩාත් ප්‍රමුඛ පුවත් වූයේ, චීන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කිරීමට යන නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹිය හැකිවනු ඇති බවය. මෙම ගිවිසුම සම්බන්ධව දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් පැවැත්වුණු මූලික පරීක්ෂණයක් ඒ වන විටත් සිදුකෙරී අවසාන බවත්, ඊට අනුව නිදහස් වෙළද ගිවිසුමක් ඇති කිරීමට සුදුසු වාතාවරණයක් දෙරට අතර පවතින බවත් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකාවේ චීනයට අපනයනය කෙරෙන තේ,රබර්,ඇඟළුම්,මැණික් ආදී ද්‍රව්‍යයන් හි වර්ධනයක් පසුගිය සමයේ දැකගත හැකිවුවද තවමත් රජය අපේක්ෂා කරන තරමේ ආදායමක් ඒවායින් නොලැබෙන බැවින්, නිදහස් වෙළද ගිවිසුමක් මගින් චීන වෙළදපොලේ ඇති තවත් අවස්ථා හදුනාගෙන ඒ මගින් අපේක්ෂිත අපනයන ආදායම ලබාගැනීම කෙරේ රජයේ අවධානය යොමුව තිබෙන බව එදා රජය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව 2017 වසරේදී මෙවැනි ප්‍රවෘත්තියක් රජය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කළේය. ඒ 2017 මැයි 16 වැනිදා එවකට ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ චීන අගමැති ලී ක’ඡියාන් (Li Keqiang) අතර පැවැති හමුවකින් අනතුරුවය.
“ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර තුළ අත්සන් තැබීමට අපේක්‍ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හි දී අනාවරණය විය. ඊයේ (16දා) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී පැවති මෙම සාකච්ඡාවේ දී චීන අගමැතිවරයා පැවසූයේ ප්‍රවාහන, මුල්‍ය, වාණිජ ආදී අංශයන් මූළික කොට ගනිමින්, ආසියාවේ ආර්ථිකය හා තරඟකාරී තත්ත්වයකට පත්වීමටත්, ඒ ඔස්සේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීමටත් අවශ්‍ය සහයෝගය සහ උපකාරය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට චීනය සූදානම් බවය. ඒ සඳහා අවශ්‍ය ආයෝජන පරිසරය ශ්‍රී ලංකාවේ සකස් කළ යුතු බව අවධාරණය කළ චීන අග්‍රාමාත්‍යවරයා පැවසූයේ තිරසර ස්ථාවරත්වයක් සහ ශක්තිමත් නෛතික රාමුවක් නිර්මාණය වන්නේ නම්, ලෝකයේ බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ අයෝජන සඳහා එක්වනු ඇති බවය. ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ආරම්භ කිරීම හා ආයෝජනය කිරීම සඳහා චීන ආයතන සහ සමාගම් දිරිමත් කරලීමට තමන් ක්‍රියා කරන බව ද ලී ක’ඡියාන් පැවසීය.”

හරියටම වසර තුනක කාලයක් ඇතුලත ප්‍රධාන සිදුවීම් දෙකකදී මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණද, ආරම්භක ප්‍රකාශයේ සිට වසර 08ක්, එනම් අද වනතුරුද චීනය සහ ශ්‍රී ලංකාව අතර එවැනි ආකාරයේ නිදහස් වෙළඳ ගිවිසුමක්(Free Trade Agreement-FTA) අත්සන් කෙරී නැත. එහෙත් හදිසියේම දෙවන නිල නිවේදනයෙන් වසර 05කට පසුව නැවත වතාවක් මෙම ගිවිසුම පිළිබඳව විශාල සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දැකගන්නට තිබේ. මෙලෙස නැවත නැවත කරලියට එන චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ඇත්තෙන්ම වසර ගණනාවක් තිස්සේ මෙතෙක් ක්‍රියාත්මක තලයට ගෙනඒමට හැකියාවක් ලැබී නැත්තේ ඇයි? ඊට ප්‍රධානම හේතුව වන්නේ මෙම වසර ගණනාව පුරාවටම ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ දෙපාර්ශ්වයටම සාධාරණ යෝජනා රැසකටම චීනය එකඟතාව පලනොකිරීමයි. ඒ වෙනුවට චීනය වට 07ක් තිස්සේ සිදුකෙරුණු සාකච්ඡා වලදී උත්සාහ කරන ලද්දේ තමන්ට පමණක් වාසිදායක ලෙස ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කරගනිමින් මෙම වෙළඳ ගිවිසුම සකස් කර ගැනීමයි. විශේෂයෙන් සිය බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීමේ (BRI) කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ දියත් කර ඇති වරාය නගරය ඇතුළු ව්‍යාපෘති රැසක් ඔස්සේ අනාගතයේ මෙරට වෙළඳ ආධිපත්‍යය සිය සන්තකයට ගැනීම චීනයේ ඉලක්කය වී ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම භාණ්ඩ සැපයුම්කරුවකු වන ඉන්දියාවට තරගයක් ලබාදීමට නම්, විශාල බදු සහන යටතේ ශ්‍රී ලංකාවට භාණ්ඩ හා සේවා අපනයනය කිරීමට චීනයට හැකියාව පැවතිය යුතුය. චීනය විසින් මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ වගන්ති තමන්ට වාසිසහගත ලෙස සකස්කර ගැනීමට උත්සාහ කරන්නේ ඒ වෙනුවෙනි.

කෙසේවෙතත් නිදහස් වෙළඳ ගිවිසුම (FTA) කඩිනම් කිරීමට ශ්‍රී ලංකාවට බලකරමින් සිටියද, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්තර්ජතික මූල්‍ය අරමුදල විසින් යෝජිත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන සඳහා චීනයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මුදල් අමාත්‍යංශ වාර්තා අනාවරණය ආකාරයි. සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු වෙනුවට කල් පිරෙන චීන සංවර්ධන බැංකු ණය සඳහා තවත් ඩොලර් බිලියනයකට සමාන ප්‍රතිමූල්‍ය පහසුකම්(තවත් ණයක්) සැපයීමට චීනය තවමත් උත්සාහ කරන බව පැවැසේ. එහෙත් මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ සියලුම ණයගැතියන් සමග සමානව කටයුතු කලයුතු බැවින්, ශ්‍රී ලංකාව චීනයේ මෙම ප්‍රතිමූල්‍යකරණ පහසුකම ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එපමණක්ද නොව, චීනය විසින් වසරකට පෙර මෙරටට ලබාදී, මහ බැංකු සංචිතයේ සෙලවිය නොහැකි තැන්පතුවක් ලෙස පමණක් පවතින ඩොලර් බිලියන 1.5 ක හුවමාරු ණය පහසුකමේ කොන්දේසි ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ද චීනය ප්‍රතිචාර දක්වා නැත. ලබාදී වසරක කාලයක් ගතවුවද මෙතෙක් එම ඩොලර් බිලියන 1.5ක විදේශ ණය මුදලින් ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රයෝජනයක් ලැබී නැති අතර,එය මහ බැංකු විදේශ සංචිතයේ පවතින, ආපසු ගෙවීමේදී පොලියක්ද ලබාදිය යුතු, ප්‍රදර්ශන භාණ්ඩයක් පමණක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව සඳහා අනුගමනය කරන ලද චීනයේ ආර්ථික ආකෘතියට විශේෂිත ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන චීන සමාගම් අතලොස්සක් සහ ඉහළ පොලී අනුපාත මෙන්ම, එවැනි ආයෝජන පාලනය කිරීම සඳහාවූ ගිවිසුම්ද ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික අර්බුදය පෙන්නුම් කරන්නේ චීනයේ ණය මත පදනම් වී අනුගමනය කර ඇති උපායමාර්ග විසින් චීනයට පමණක් ප්‍රතිලාභ හිමිවී ඇති බවයි. ඒ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ හම්බන්තොට වරායයි. ශ්‍රී ලංකාවට ගෙවාගත නොහැකි ණය මුදලක් ලබාදෙමින් ඉදිකළ හම්බන්තොට වරාය, අවසානයේ චීනය විසින්ම සැලසුම්සහගතව පවරාගනු ලැබුවේ, ඉන්දු-ආසියානු සමුද්‍ර කලාපයටම බලපෑම් කළ හැකි බලකොටුවක් නිර්මාණය කරගනිමිනි. එහි දෙවැනි පියවර ක්‍රියාත්මක වෙමින් පවතින්නේ කොළඹ වරාය නගරය(Port City) හරහාය. මේ වන විටත් චීනය වරාය නගරයට පමණක් බලපාන, තමන්ට අවැසි මූල්‍ය නීති පද්ධතියක් ශ්‍රී ලංකා රජය ලවා සම්මත කරගෙන ඇති අතර, කඩිනමින් වරාය නගරයට පමණක් බලපාන පරිදි අධිකරණ පද්ධතියක්ද ස්ථාපානය කරගැනීමට චීනය සුදානම් වේ. එම අධිකරණය නුදුරේදීම පිහිටුවන බව ජනාධිපතිවරයාද පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

මානව සංවර්ධන දර්ශකවල තම කලාපයේ ඉහළම ස්ථානයට පත්ව ඇති සහ මෑතක් වන තුරුම, ඉන්දියාව, පකිස්ථානය හෝ බංග්ලාදේශයට වඩා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ මට්ටමක පැවති ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රධාන වශයෙන්ම චීන සාධකය හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති තත්වය ඛේදනීය බිඳවැටීමකි. 2019 දී පවා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 7.5 ක් විය. එහෙත් මිල අධික හා ඵලදායී නොවන චීන යටිතල පහසුකම් ව්‍යාපෘති රටේ ආර්ථික පරිහානියට ප්‍රධාන සාධකයක් වී ඇත. එවන් පසුබිමක් තුළ තවදුරටත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටවමින්, චීන වෙළඳපොල මතම යැපෙන තත්වයක් නිර්මාණය කරවන චීන-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමකින්ද මෙරටට අත්වන කිසිදු ප්‍රතිලාභයක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නැත. එය තවදුරටත් ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදයේ පතුලේම සිරකරවන තවත් උපායමාර්ගික සැලසුමක කොටසක් මිස අන් කිසිවක් නොවේ.

RECENT ARTICLES - SINHALA

BREAKING – එලිෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සිටි අරගලකරුවන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

0
මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ක්‍රියාත්මක වූ සාමකාමී අරගලය විසිරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
උසස් පෙළ විභාග සමයේ පැවැත්වෙන කාලසීමාවේ දී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කර ලෙස...

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත් වෙයි

0
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් අද (03) එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Power cuts during A/L: Supreme Court rejects to issue interim order preventing power cuts

0
The Ceylon Electricity Board (CEB) informed the Supreme Court that it would withdraw the assurance to refrain from imposing power cuts until...

Two PUCSL members resign

0
Two members of the Public Utilities Commission of Sri Lanka, Mohan Samaranayake and Udeni Wickremasinghe handed over their resignation letters.

China hits back at Nuland’s ‘not enough’ remark, says to do something to help...

0
Chinese Foreign Ministry Spokesperson Mao Ning hit back at US Under Secretary of State for Political Affairs Victoria Nulandwho said during her...