31 C
Colombo
Saturday, April 20, 2024

පරස්සම් විය යුතු චීනයේ කුණු කෑම

- Advertisement -

ලෝකයට සපයන චීන ආහාරවල තත්වය හෝ ප්‍රමිතිය පිලිබඳ ගැටළු පවතින බව විවිධ පර්යේෂණ හරහා අනාවරණය කර ඇත්තේ කලකට පෙරය. අපනයනය කෙරෙන ආහාරවල පමණක් නොව, දේශීය පරිභෝජනය වෙනුවෙන් නිපදවෙන ආහාරවල මෙන්ම ඒවා නිපදවන ආයතන හා කම්හල් ද නිසි ප්‍රමිතියකින් නොමැති බව මේ වන විට ලොවට හෙළිවී හමාරය. විශේෂයෙන්ම චීනය සිය රාජ්‍ය ප්‍රතිසංස්කරණවලින් සහ ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ වීමෙන් පසු රටේ නිෂ්පාදනය කෙරෙන ආහාර සුරක්ෂිතතා සිද්ධීන් අන්තර්ජාතික මාධ්‍ය පරීක්ෂාවට ලක්ව ඇත. එම පරීක්ෂාවන් හිදී අනාවරණය කෙරුණු තොරතුරු රැසක් වාර්තාගතව පවතී. මේ සඳහා උදාහරණ ඕනෑතරම් පවතින අතර, ඒ අතරින් කිහිපයක් ගෙන සලකා බැලීමේදී චීනයේ ආහාර නිෂ්පාදනයේ ලෝකය බොහෝවිට නොදකින පැතිකඩ නිරාවරණය කරගත හැකිය.

2003දී එලෙස ජනමාධ්‍ය විසින් අනාවරණය කෙරුණු සිදුවීමක් වූයේ ජින්හුවා පළාතේ ‘හැම්’ නිෂ්පාදනවල වස මිශ්‍රව තිබීමයි. එහිදී අපනයනයේදී වැඩි ලාභ ලබාගැනීම සඳහා පළාතේ මාංශ නිෂ්පාදකයන් උණුසුම් මාසවලදී හැම් නිෂ්පාදනය කර තිබිණි. සාමාන්‍යයෙන් සෞඛ්‍යාරක්ෂිතභාවය වෙනුවෙන් හැම් නිෂ්පාදනය කෙරෙන්නේ වසරේ ශීත මාසවලදීය. මෙලෙස උණුසුම් මාසවලදී නිෂ්පාදනය කර තිබුණු හැම් නරක් වීම සහ කෘමි උවදුර වැළැක්වීම සඳහා පළිබෝධනාශක භාවිත කර ඇති බව ජනමාධ්‍ය විසින් සොයාගනු ලැබිණි. මෙම විෂ සහිත හැම් පිළිබඳව වාර්තාවීමත් සමග ලොව පුරා සිටින චීන මාංශ පාරිභෝගිකයෝ සැලකිවයුතු කාලයක් ගතවනතුරු චීනයෙන් ආනයනය කෙරෙන මස්වර්ග පරිභෝජනයෙන් වැළකී සිටියහ.

ඊටත් වඩා දරුණු, ලෝකයම කැළඹු සිදුවීමක් 20224 වර්ෂයේදී චීනයෙන් වාර්තා විය. වසරේ අප්‍රේල් මාසයේදී, ෆුයාන්ග් සහ අන්හුයි (Fuyang & Anhui) ප්‍රදේශවල අවම වශයෙන් ළදරුවන් 13 ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල තවත් දරුවන් 50-60 ක් ව්‍යාජ පිටි කිරි ආහාරයට ගැනීමෙන් මිය ගියේය. මීට අමතරව, පළාතේ තවත් ළදරුවෝ 200 ක් මන්දපෝෂණයට ගොදුරුවූ අතර කෙසේහෝ දිවි බේරාගත්හ. ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ව්‍යාජ පිටිකිරි වර්ග සාදා විකිණීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පරීක්ෂකයින් විසින් වෙළඳපොලේ විකිණීමට ඇති ප්‍රමිතියෙන් තොර සූත්‍ර වර්ග 45 ක් සොයා ගන්නා ලදී. මෙම ප්‍රමිතියෙන් තොර පිටිකිරි වර්ග නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා 141 කට වැඩි ප්‍රමාණයක් වගකිව යුතුවූ අතර, අප්‍රේල් මැද වන විට චීන නිලධාරීන් ව්‍යාජ කිරිපිටි මලු 2,540 ක් අත්අඩංගුවට ගෙන් තිබිණි. කෙසේවෙතත් කුමන හෝ බලපෑමකට යටත්ව චීනයේ රාජ්‍ය ආහාර හා ඖෂධ පරිපාලන දෙපාර්තමේන්තුව 2004 මැයි මාසයේදී පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළේය.

මෑත කාලින ඒ ආකාරයේ සිදුවීම් ගතහොත්, 2020 වසරේදී චීනයේ Heilongjiang පළාතේ ජීසී (Jixi) නගරයේ, බඩඉරිඟුවලින් නිෂ්පාදිත නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පුද්ගලයන් 09 දෙනෙකු මිය ගියේය. ඔවුන් මිය ගොස් ඇත්තේ බොන්ග්‍රෙක් අම්ලය නිසා බව පසුව වාර්තා විය. පසුව කරන ලද පරීක්ෂණවලදී, මෙම පැසුණු නූඩ්ල්ස් වසරකට වැඩි කාලයක් ශීතකරණවල තිබූ බව සොයා ගන්නා ලදී. චීනයේ වැඩිම ආහාර ගැටළු වාර්තා වී ඇත්තේ 2016 වසරේදීය. 2016 පළමු කාර්තු තුන තුළ චීනයේ ආහාර සුරක්ෂිතතා උල්ලංඝනය කිරීම් 500,000 ක් වාර්තාවී ඇත. එම මහජන සෞඛ්‍ය කඩකිරීම් අතරට ආහාර පිළිබඳ අසත්‍ය ප්‍රචාර, දූෂිත ආහාර පාන විකිණීම, ආහාර පාන නිෂ්පාදනයේදී ව්‍යාජ ද්‍රව්‍ය භාවිත කිරීම ඇතුළත් වේ. කාර්මික ජෙලටින් සහ ලුණු භාවිතය ආහාර සුරක්ෂිතතාව උල්ලංඝනය කිරීමේ කැපී පෙනෙන සිදුවීම් විය.

අප මෙලෙස චීන ආහාරවල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිතබව පිළිබඳව හදිසියේ කතාකරන්නේ අන් කිසිවක් නිසා නොව, මේ දිනවල හදිසි අනුකම්පාවක් හේතුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට ලබාදෙමින් සිටින සහල් තොග නිසාය. දරුවන් වෙනුවෙන්ම ලබාදීමට අධ්‍යාපන අමාත්යංශය විසින්ම නිර්දේශ කර ඇති එම චීන සහල් තොග පිළිබඳව මේ වන විට රටේ විවිධ ස්ථානවලින් චෝදනා එල්ල වෙමින් තිබේ. පිසීමෙන් අනතුරුව ප්ලාස්ටික් වැනි ස්වරුපයක් ගන්නා එම සහල් සතුන් පවා ආහාරයට නොගන්නා බව එම පිරිස්වල චෝදනාව විය. කෙසේවෙතත් මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හැකියාවක් ඇත්තේ නැත. ඊට හේතුව රට තුලට මෙම චීන සහල් ගෙනඒමේදී නිසි ප්‍රමිති පරීක්ෂාවන් සිදුනොකිරීමයි. විශේෂයෙන් රට මුහුණදී ඇති බරපතල ආර්ථික අර්බුදය හමුවේ චීනය සුවිශේෂී සාධකයක් බවට පත්ව ඇත. රටේ ආර්ථිකය නිවැරදි මගට ගැනීමට නම්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය සහනය ලබාගත යුතුය. එම ණය සහනය අනුමත වීමට නම්, චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනය එකඟ විය යුතුය. එහෙත් එම අවශ්‍යතාව පහසුවෙන් ඉටුකරදීමට චීනය සුදානම් නැත. ශ්‍රී ලංකා රජයට සිදුවී ඇත්තේ වන්දනාමාන කරමින් චීනය පසුපස යාමටය. එමනිසාම චීනය අපහසුතාවක් වන කිසිම ආකාරයේ කටයුත්තක ශ්‍රී ලංකා රජය නිරතවන්නේ නැත.

එම තත්වය විසින් මෙරට වෙළඳපොල තුල නිර්මාණය කර ඇත්තේ ඉතාම අනාරක්ෂිත තත්වයකි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළෙන් විශාල කොටසක අයිතිය චීනයට හිමිවේ. එහෙත් දැන් චීනයෙන් මෙරටට ආනයනය කෙරෙන කිසිදු ද්‍රව්‍යයක ප්‍රමිතිය පරික්ෂා කෙරෙන බවක් දැකගන්නට නැත. එම තත්වය ආහාර සම්බන්ධයෙන්ම, ඒ අයුරින්ම වන විට, එහි ඇති භයානකකම ගැන කතාකළ යුතු නැත. විශේෂයෙන්ම ව්‍යාජ සහල් සහ ව්‍යාජ පිටිකිරි සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන චීනයෙන් ආහාර ආනයනයේදී මෙලෙස ප්‍රමිති පරීක්ෂාවක් නොකිරීම විසින්, විශේෂයන් ශ්‍රී ලාංකික දරු පරපුර කෙරෙහි කෙතරම් විශාල බලපෑමක් එල්ල කරන්නේද යන්න පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.

අනෙක් අතට ශ්‍රී ලංකාව විසින් මෙලෙස අනාරක්ෂිත ලෙස චීන ආහාරවලට දොර ඇර ඇත්තේ ලොව විවිධ රටවලින් මේ වන විටත් සෞඛ්‍යයට අහිතකර චීන නිෂ්පාදන පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබියදීය. නිදසුනක් ලෙස, පසුගිය වර්ෂාවසාන නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් නයිජීරියාව චීනයෙන් සහල් තොග ආනයනය කර තිබිණි. මෙම ආනයන අතර නීතිවිරෝධී ලෙස එරටට ගෙන්වූ සහල් මලු 100 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම සහල් කෘත්‍රිමව සකස්කරන ලද, සාමන්‍ය ව්‍යවහාරයේ ‘ප්ලාස්ටික් සහල්’ යනුවෙන් හඳුන්වන ව්‍යාජ නිෂ්පාදනයක් බවයි.

ඇත්තෙන්ම මෙම තත්වය ලෙහෙසියෙන් බැහැර කළහැක්කක් නොවේ. ඊට හේතුව ප්‍රමිති පරීක්ෂාවකින් තොරව, ව්‍යාජ නිෂ්පාදනවලට ප්‍රසිද්ධ නිෂ්පාදනාගාරයකින්(චීනයෙන්) මෙරටට පරිත්‍යාග කෙරෙන මෙම සහල් තොගයේ පරිමාව කිලෝග්‍රෑම් ලක්ෂ 10කි. ඉන් සහල් තොග කිහිපයක් මේ වන විටත් මෙරටට ලඟාවී ඇත. ඒවා පාසල් ආහාර වැඩසහන යටතේ, දරුවන් ලක්ෂ 11කගේ ආහාරය වෙනුවෙන් බෙදාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අවදානමේ තරම සිතාගත හැකිය. අප එක්වරම චීන සහල් මුළුමනින්ම ප්‍රමිතියෙන් තොර බව පවාන්නේ නැත. එහෙත් රටට ඕනෑම ‘කුණුගොඩක්’ රැගෙන ඒමට හැකියාව පවතින මෙවැනි ‘ආර්ථික අනාරක්ෂිත මොහොතක’ කිසිදු ප්‍රමිති පරීක්ෂාවකින් තොරව, ව්‍යාජ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ රටකින් පරිත්‍යාග ලෙස හෝ සහල් ලබාගැනීම කෙතරම් අන්තරයකරද යන්න බලධාරීන් වටහාගත යුතුය.

අනෙක් අතට හොඳින් හෝ නරකින් ශ්‍රී ලංකාවට ‘වස’ කැවීම සම්බන්ධයෙන් චීනයට අත්දැකීම්ද පවතී. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ 2020 වසරේ මෙරටට පැමිණි අසූචි මිශ්‍ර, කාබනික යැයි කියාගත් පොහොර නැවයි. ප්‍රමිතියෙන් තොර බව ශ්‍රී ලංකා පර්යේෂණාගාර විසින් තහවුරු කරද්දීත්, මාස කිහිපයක්ම රටට ආසන්න මුහුදේ ‘කැරකුණු’ එම පොහොර නෞකාව, අවසානයේ පිටව ගියේ, බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 6.9ක මුදලක්ද පැහැරගෙනය. එමනිසා කෙතරම් අසීරුතා මධ්‍යයේ වුවද, කන්නට යමක් සරිකර නොදුන්නද, රටේ දරුවන්ට වස නොකවා සිටින්නටවත් පාලකයන් මේ මොහොතේ කල්පනාකාරී විය යුතුය

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...