අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම්ව සිටිනවා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ, ඒ සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 118ක් අත්සන් තබා ඇති බවයි.
මෙම යෝජනාව සඳහා සමඟි ජන බලවේගයද සහ දැක්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් හේතුවෙන් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා .
ඉකුත් පාලන සමයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහා නම් කරමින් ඔහුගේ නම එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
එම නාම යෝජනාව පිළිබඳව සලකා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සමාජිකයින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිශ්ශංක බන්දුල කරුණාරත්තගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.
පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ එම තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු වන බී.පී.එම්.එස් පතිරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එහි තීන්දුව ඉකුත් දෙසැම්බර් මස 12 වනදා ප්‍රකාශයට ඔඅත් කරනු ලැබුවා.
ඒ එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සඳහන් කර තිබුණේ යම් විනිසුරුවරයෙකු උසස් තනතුරක් සඳහා නම් කිරීමට පෙර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සලකා බැලීම යුක්තිසහගත බව, අධිකරණයේ මතය වන බවයි.