කොළඹ බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලැබූ පාසල් දැරියක් එම පාසලේම ගුරුවරයකු විසින් අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් සිදු වූ මානසික කම්පනය නිසා සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය ලබා දුන් පිළිතුරක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
ඊයේ (08) මෙම සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා ඇමතිනියගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, දැරිය අපයෝජනයට ලක් වීමේ සිදුවීමෙන් පසුව ජාතික ජනබලවේගයේ උතුරු කොළඹ සංවිධායකයෙකු වන උපකාරක පන්ති අයිතිකරුවෙකු දැරියට අපහාස කර ඇති බවට එල්ල වන චෝදනා හේතුවෙන් සිද්ධිය යට ගැසීම සඳහා උත්සාහයක් පවතින බවට සැකයක් මතුව ඇති බවයි.
“මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර්ව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා. සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා. අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා”.
මීට පිළිතුරු දෙමින් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ්, සඳහන් කර තිබුණේ මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන ලෙසත් පෙත්සමක් රැගෙන දැරියගේ දෙමව්පියන්ට තමාව හමුවන ලෙසත් තමා දැනුම් දුන් බවයි.
“මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් JMO රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා. පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා”.
2024 දෙසැම්බර් මාසයේ සිට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බව සරෝජා පෝල්රාජ් ඇමතිනිය පවසා සිටියත්,අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටියේ ඊයේ දිනයේයි.
එම නිවේදනයේ දැක්වුණේ අපයෝජන සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමට කටයුතු කර ඇති බවයි.
මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබෙනවා.