ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ඊයේ (01) රාත්‍රියේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී තමාට සහය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කළ ඉල්ලිම මහින්ද රාජපක්ෂ මහතා යළිත්වරක් ප්‍රතික්ෂේප කර තිබෙන බව පැවසෙනවා.
මෙම හමුවේදී රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පක්ෂය ගනු ලැබූ තීරණයේ කිසිඳු වෙනසක් සිදු කළ නොහැකි බවයි.
මේ අතර තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් ද බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඊයේ කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.