කෘෂි බීජ සමාගම් විසින් මේ වන විට බීජ හිඟයක් මවා පාමින් සිටින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියා.
බඩ ඉරිඟු බීජ මාස් කන්නයේ වගා කලයුතු බව පැවසු තෙන්නකෝන් මහතා පවසා සිටියේ කෘෂි කර්මාන්තයේ සෘතු කල් දැමිය නොහැකි බවයි.
මේ වන විට සැම බීජයකම මිල 30%කින් ඉහල ගොස් තිබෙන බව පැවසු සභාපතිවරයා බීජ සමාගම් එක්ව බිජ මාෆියාවක් ක්‍රියාත්මක වන බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තෙන්නකෝන් මහතා කියා සිටියේ රුපියල් 13,000ට තිබු බඩ ඉරිඟු කිලෝ 05 බීජ බෑගයක් පුද්ගලික සමාගම් විසින් රුපියල් 17,000ක් වැනි මුදලකට මේ වන විට අලෙවි කරන බවයි.
මෙලෙස අලෙවිකරන මෙම බීජවල ගුණාත්මකභාවය මැනිම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ වැඩපිළිවෙලක් නොමැති බවට ඔහු විසින් චෝදනා කර සිටියා.
පසුගිය සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටි මහින්ද අමරවිර මහතා විසින් දුමින්ද දිසානායක මහතා සමඟ එක්ව අනුරාධපුර පොලොන්නරුව ප්‍රදේශවලට බෙදා හැරි බඩ ඉරිඟු බීජද පැල නොවු බව තෙන්නකොන් මහතා මෙහිදී පෙන්වා දුන්නා.
මෙහිදි තෙන්නකෝන් මහතා චෝදනා කර සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ දී අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ජනාධිපතිවරයාගේ රැස්විම සඳහා පැමිණි ගොවින් සඳහා පමණක් බඩ ඉරිඟු බීජ ලබාදුන් බවයි.
පෙර සිටි කෘෂිකර්ම ඇමතිවරුන් හට බීජ සමාගම් සමඟ ගණුදෙනු තිබෙන බව පැවසු සභාපතිවරයා මහින්ද අමරවිර මහතාගේ සහෝදරයෙක් විසින් බීජ ගෙන්වා වැල්ලවාය ප්‍රදේශයේ බෙදාහැරිම් සිදු කරන බවද පවසා සිටියා.