දිවයින පුරා රෝහල් රැසක හෘද, වකුගඩු සහ පිළිකා රෝගීන්ට භාවිත කරන ඖෂධ විශාල ප්‍රමාණයක මේ වනවිට තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.
ඉදිරි මාස දෙක ඇතුළත තවත් ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන්වීමට නියමිත බවයි එම සංගමය අනාවරණ කර සිටින්නේ.
මේ අතර, පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බව සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා වන චන්න ජයසුමන මහතා පවසනවා.
එම රෝහලේ අධ්යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවටයි ඔහු චෝදනා කර සිටිනේ. ඖෂධ ලබාගැනීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කර නොතිබූ බවත් ඔහු පවසනවා.
ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.
මේ අතර වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ පුවත ප්‍රචාරය වීමත් සමඟ මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.
ඔහු එමඟින් සඳහන් කර තිබුණේ මේ සඳහා ඉන්දියාවට සහය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයාබලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත දැනුම්දුන් බවයි.