31 C
Colombo
Friday, April 19, 2024

මැරඩෝනා ගැන- මේ ටික දැනගන්න (වීඩියෝ)

- Advertisement -

පාපන්දු ක්‍රීඩාව අවිවාදිතව ලොව අංක එකේ ක්‍රීඩාව. වැඩිම පිරිසක් යෙදෙන ක්‍රීඩාව. වැඩිම රටවල් ගණනක් පාපන්දු කිරුළට සටන් වදිනවා. වැඩිම ක්‍රීඩකයන් ගණනාවක් පාපන්දු ලොව අංක එක වන්නට දඟලනවා.

කිසි ආයාසයක් නැතිව, කිසිම වගේ වගක් නැතිව පාපන්දු ලොව අංක එක ස්ථානයේ කාලයක් වැජබුණු ක්‍රීඩකයෙක් මැරඩෝනා. ඔහු සෙල්ලක්කාරයෙක්. ඔහු කිසිදා පාපන්දු පිටියේ මහා කල්පනා කරන්නෙකු බව පෙනුණේ නැහැ. එහෙම නොපෙනුණත් ඔහු හැබෑ මොළකාරයෙක්.

මැරඩෝනා ක්‍රීඩා දිවියේදී වාර්තා කළ ගෝල අතරින් වැඩිපුරම කතාබහට ලක් වූ ගෝලය වන්නේ 1986 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී වාර්තා කළ ‘දෙවියන්ගේ අත’. එයට දෙවියන්ගේ අත යැයි කීවේ ඔහුගේ අතේ වැදී ගෝලය වාර්තා වුණත්, විනිසුරු එය හඳුනා නොගත් නිසා. ඒ තනි ගෝලය නිසාම පාපන්දු ඉතිහාසයේ වාසනාවන්තම ක්‍රීඩකයා ලෙසත් ඔහුව හඳුන්වන්න ප්‍රේක්ෂකයන් කැමතියි.

එහෙත් ඔහුගේ එකම ගෝලය එම දෙවියන්ගේ අත නොවෙයි. ලොව දැවැන්තම ක්‍රීඩා උළෙල වන පාපන්දු ලෝක කුසලානවලදී පමණක් ඔහු තරග 21කට සහභාගී වී ගෝල 8ක් වාර්තා කළා. ඒ අතර හොඳම ලෝක කුසලාන ගෝලය යැයි සඳහන් එකත් තිබෙනවා.

ඇත්තෙන්ම 1982 ලෝක කුසලාන තරගාවලියට වයස අවුරුදු 21ක පමණ තරුණයෙකු ලෙස සහභාගී වූ මැරඩෝනා විශාල වරදක් කළා. එවර ලෝක කුසලානයේදී මැරඩෝනා දීප්තිමත් තරුණ ක්‍රීඩකයෙකු ලෙස හඳුනාගත්තා. එවර කණ්ඩායම් අදියරේදී ආජන්ටිනාව බෙල්ජියමට පැරදුණත් හංගේරියාවට එරෙහි තරඟය ජයගත්තා. මැරඩෝනා ගෝල දෙකක් වාර්තා කළා.

දෙවැනි වටයේදී කේන්තිකාරයෙකු ලෙස ප්‍රකට ඔහු සිතාමතා බ්‍රසීල ක්‍රීඩකයෙකුගේ ඉණට පාදයෙන් පහරදීමක් නිසා රතු කාඩ්පතක් ලැබුවා. එය තමයි වරද. ඒ නිසාම ඔහු කෙරෙහි ආජන්ටියානු ක්‍රීඩා රසිකයන් කේන්තියෙන් සිටියා.

එහෙත් වන්දිය ගෙවන්නට වාගේ 1986 දී ඔහු 25 හැවිරිදි නායකයෙකු ලෙස ලෝක කුසලානය ආජන්ටිනාවට ගෙනාවා. එවර පළවැනි වටයේ ඉතාලියට එරෙහි තරගයේදී නොසිතූ මොහොතක ගෝලයක් වාර්තා කරමින් තරගය අනෙක් පස හරවාගත්තා. අර්ධ අවසන් පූර්ව තරගයේදී පාපන්දු ඉතිහාසයේ වැඩිපුරම කතාබහට ලක් වූ ගෝලය මෙන්ම ආන්දෝලනාත්මකම ගෝලය වන ‘දෙවියන්ගේ අත’ වාර්තා කළා.

එම ගෝලය වාර්තා කළ විගස මැරඩෝනා සමරමින් පිටියේ කෙළවරට දිව ගියා. ඒ අතර එංගලන්ත ගෝල් රකින්නා අත ඔසවාගෙන එය අතින් වාර්තා කළ එකක් බව සංඥා කරන්නට පටන්ගත්තා. විනිසුරුවරුන් එය ගෝලයක් ලෙස සංඥා කළේ ප්‍රේක්ෂකාගාරයේම කුතුහලය දල්වමින්.

එහෙත්, දෙවියන්ගේ අත ගැන දන්නා ඇතැම් අය නොදන්නා කාරණයක් වන්නේ 51 වැනි මිනිත්තුවේ දෙවියන්ගේ අත ගෝලය වාර්තා කළාට පසු, ටික වෙලාවකින් ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ඨම ගෝලය යැයි සංවාදයට ලක්වෙන ගෝලයත් වාර්තා කළ බව. මැරඩෝනා හුදු වාසනාවන්ත ක්‍රීඩකයෙකු හෝ අර්ධ අවසන් පූර්ව තරගයක අහම්බෙන් ගෝලයක් වාර්තා කළ ක්‍රීඩකයෙකු පමණක් නොවන බව තහවුරු වන්නේ එම දෙවැනි ගෝලය නිසයි.

පිටියේ අඩක් පුරා බෝලය රැගෙන යමින්, ප්‍රතිවාදීන් ගණනක් මඟහරිමින් ඔහු තනිව බෝලය රැගෙනවිත් ගෝලය වාර්තා කළේ සම්පූර්ණයෙන්ම විජ්ජාකාරයෙකු ලෙස.

එපමණක් නොවෙයි, ඔහු බෙල්ජියමට එරෙහි අවසන් පූර්ව තරගයේදීත් ගෝල දෙකක් තනිවම වාර්තා කළා. අවසන් පූර්ව තරගය ඔහුගේ තනි ප්‍රසංගයක් වුණා. අවසන් තරගයේ ජර්මනියට එරෙහිව ක්‍රීඩා කරද්දී ඔහු ආරක්ෂකයන්ගේ ආවරණය යටතේ සිටියදී, කිසිවක් කරන්නට අසීරු වුණා. එහෙත් අවසන් තරගයේදීත් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ඔහු. ඔහු නායකයෙකු ලෙස ආජන්ටිනාව ජයග්‍රහණය දක්වා ඇදගෙන ගියා. අසීමිත ධෛර්යයක් සහ නිශ්චිත ඉලක්කයක් ඔහුට තිබුණා. ඔහුගේ පාදයෙන් වාර්තා නොවූ ගෝලවලදී පවා බෝලය අවසාන මොහොතේ නිසි තැනට යොමු කරමින් උපරිම දායකත්වය ලබා දී තිබුණේ ඔහු. ඉතින් ඒ ලෝක කුසලානය ඔහුගේ.

ඊට පසු ලෝක කුසලානයේදී ඔහුගේ පාදයේ ආබාධය හරහට හිටියත්, ධෛර්යය සම්පන්න නායකයෙකු ලෙස ඔහු ආජන්ටිනාව වෙනුවෙන් උපරිම සටන් කළා. එහෙත් ඊටත් පසුව පැවති ඔහුගේ අවසන් ලෝක කුසලානයේදී තහනම් උත්තේජක පාවිච්චි කිරීම පිළිබඳ තහවුරු වීමෙන් ඔහුගේ නම ඉදිරියෙන් විශාල කැළලක් සටහන් වුණා. මරණය දක්වාම ඔහු මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාවිච්චිය ගැන කතාබහට ලක් වුණා. ඔහුගේ මරණයටත් ඒ ඇබ්බැහිවීම් හේතු වූ බව කියනවා.

එහෙත් ඒ ඇබ්බැහිවීම්, හිතුවක්කාරකම සහ රළු ගතිය නැතිව මැරඩෝනා කෙනෙක් නැහැ.

1960 ඔක්තෝබර් 30 වැනිදා උපත ලද ඔහු මරණයට සති කිහිපයකට පෙර සිය 60 වැනි උපන්දිනය සමරා තිබුණා.

මැරඩෝනා පීඑච්ඩී ගැසූ මිනිහෙක් නොවෙයි. සුදු ඉරි අතර, කොළපැහැ තණපිටිය මත සෙමෙන් දිවයන උසින් මඳක් අඩු තරුණ මැරඩෝනා දිහා බැලූ බැල්මට ඔහු දීප්තිමත් කොල්ලෙක් බව පෙනෙන්නේ නැහැ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, මෙසී, රොනාල්ඩෝ හෝ වෙනත් ක්‍රීඩකයෙකු මෙන් ඔහු බැලූ බැල්මට පිළිවෙලට සිටි කොල්ලෙක් නොවෙයි.

දැලි රැවුළත්, බැගි ජර්සියත්, කොටම කොට කළිසමත් එක්ක අංක දහය පැළඳ ඔහු සිටියා. හිටිගමන් පස්ස පැත්තෙන් පවා බෝලය බැලන්ස් කොට කකුල් පාමුලට ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණා. කෝනර් කලාපයට බෝලය රැගෙන ගිය මොහොතක, ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් තුන්දෙනෙකු වුව මඟහැර බෝලය පිටිය මැදට ගැනීමේ පුදුම හැකියාවක් ඔහු සතු වුණා. ඇතැම්විට ඔහු ප්‍රතිවාදී ආරක්ෂකයාගේ කකුල් දෙක මැද්දෙන් බෝලය ඇතුළට ගත්තා. නැත්නම් ප්‍රතිවාදීන් දෙදෙනෙක් මැද්දෙන් බෝලය උඩින් හරවාගත්තා.

මෙලෙස බෝලය ඩ්‍රිබල් කිරීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටින බව ඇත්ත. එහෙත් මැරඩෝනාගේ වේගය, සහ මොළයට එන අදහස දෙපා කෙළවරින් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඔහුට තරම් වෙනත් කිසිවෙකුට නැතිව ඇති. පාපන්දු පිටිය මත දිව ගිය කපටිම, ශූරම, බුද්ධිමතම සහ වේගවත්ම ක්‍රීඩකයෙකු ලෙස මැරඩෝනා හැඳින්විය හැකියි.

සාමාන්‍යයෙන් පාපන්දු රසිකයන් කිහිපදෙනෙකු හැර වෙනත් කිසිම කෙනෙක්ව පේලේට සම කරන්නේ නැහැ. මැරඩෝනා යනු වැඩිම වාර ගණනක් පේලේට හා සංසන්දනය කරනු ලැබූ ක්‍රීඩකයා. පාපන්දු ලොව රත්තරන් කොල්ලා ලෙස හැඳින්වූ ඔහු දිවියෙන් සමුගැනීම ලොවපුරා ක්‍රීඩා රසිකයන්ට වේදනාබර අත්දැකීමක් වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලනිප අභ්‍යන්තර ගැටලු විසදන්න අපිට බලයක් නැහැ- මැතිවරණ කොමිෂන් සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලු විසදීමට සිය කොමිසමට කිසිදු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය...

සිරිල් ගාමිණි පියතුමා CIDයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට “ඥානාර්ත ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා...

අරලගන්විල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...