මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දී තිබෙනවා.
ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ
කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙම කඩිනම් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක්වෙමින්.
ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාල වීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද පවතින බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව මෙහිදී නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.