ලියනගේ අමරකීර්ති ලේඛකයගෙ ‘රතු ඉරි අඳින අත’ නවකතාව කියෙව්වා.
වෙනස් මානයක ලේඛන අත්හදා බැලීමක්. පොත ගැන හැඳින්වීමෙම තියන විදිහට ජනප්‍රිය ත්‍රාසකතා ප්‍රවර්ගයේ ලක්ෂණ කෘතිය පුරාම හමුවෙනවා.
ෆෝසයිත්ගෙ නවකතාවක තියෙන දඟ දැමිල්ල, කරකවල අතහැරිල්ල අස්සෙ සමකාලීන සමාජ වියරණය ඔහු අල්ලනවා.
ඔහුගෙ කලින් “කුරුලු හදවත” නවකතාවෙ කතාවස්තුවෙ ඉම්පෙදෙසට ටිකක් සමානව.
කතාවක් පාඨකයා ඇදබැඳගෙන තියාගන්න පුළුවන් විදිහට ගොතන්න ඔහු දක්වන ශූරත්වය මේකෙදිත් ඔහු තහවුරු කරගන්නවා.
කිසිදු සමාවකින් තොරව ජාතිවාදී දෘෂ්ටිවාදය සෑම සියලු ක්ෂේත්‍රයක් පුරාම ඉතිරී පැතිරී ගොස් තිබෙන්නේ පැරණි කියවීම්වල සීමා ඉක්මවාගෙන ගොසින් බව කෘතිය කියාපානවා.
තුම්මුල්ලෙ පද්මෙලා ෂර්ට් එකේ උඩ බොත්තම පන්නලා, සරම කැසකවාගෙන ගෙනගියෙ කසිප්පු ව්‍යාපාරය වුණාට, කිරි සුදට බ්‍රෑන්ඩඩ් ලිනන් ෂර්ට්-කලිසම් ඇඳලා නූතන පාතාලය ඊට වඩා වෙනස්ම ව්‍යාපාර ක්ෂේත්‍රවල වැඩ කරමින් ඉඳීම සමාජ යථාර්ථයක්. කතුවරයා කෘතිය අස්සෙ ඒක ලස්සනට කියනවා.
නිකමට කල්පනා කරල බැලුවොත්, අපිත් අවස්ථා ගණනාවකදි සඳහන් කරපු ලංකාවෙ මාධ්‍ය අධිරාජ්‍යයේ බලය ඩී.ආර්. විජේවර්ධන වගෙ කෙනෙක්ගෙ ඉඳන් රෙනෝ සිල්වා වගේ කෙනෙක් වෙතට ගලා යෑම මොන වගේ ද? ඒ්ක සාහිත්‍යමය නිරූපණයක් විදිහට “රතු ඉරි අඳින අත” අස්සෙ තියනවා.
රජුන් තැනීම සඳහා සමාජ මත වෙනස් කරන්න මේ අප්‍රබුද්ධ ජඩමාධ්‍ය මැදිහත්වීම මොන තරම් ද කියල දැන් කවුරුත් දන්නවා.
වර්තමාන උපමාවකින් කිව්වොත් මේ පසුගාමී වෛරසය පැතිරෙන එක කිසිදු මුව ආවරණයකින් නවතන්න බැරි වෙලා බව ඒ පැතිරීම විසින් කරලා තියන හානිය දිහා බැලුවම පේනවා සාහිත්‍ය කලා – සංස්කෘතික ක්ෂේත්‍රය පවා ගොදුරු වෙලා තියන විදිහ.
පාතාල ලෝකයෙ නිරනුකම්පීය මිනීමරුවෙක් වුණ චින්තා සාහිත්‍ය කලා කතිකාවන් අස්සෙ සැනෙකින් තහවුරු වෙන අයුරුව, මිනීමැරුමකට වරදකරුවෙක් වෙලා විසි වසරක සිර දඬුවමක් වසර 15කින් අවසන් කරල ආව බඩී අප්‍රබුද්ධ පාතලයො පාලනය කරන රූපවාහිනිය හරහා දවසෙන් විදග්ධ ලෝකෙට යන හැටි – (තරමක අභව්‍ය ගතියක් තියනවා වුණත්) අපට සිහි කළේ, ලංකාවෙ කවියෙක් වෙන පහසුම ක්‍රමය ගැන දීප්ති කුමාර ගුණරත්න කිව්ව කතාවක්. ක්ෂේත්‍රයේ කවුරුත් පාහේ ඒක දන්නවා.
සමාජ මාධ්‍ය ආලෝලනය පැතිරුණු මේ දැන් නම් ඒ කාලෙ තරම් අමාරුත් නෑ සාහිත්‍ය කලා අවකාශයෙ පොරක් වෙන්න. ටිකක් ආන්තික ගතියක් තිබුණත්, ශිෂ්‍ය ව්‍යාපාරයට කරන විවේචනයත් නොලකා පිස දැමිය යුතු එකක් නෙවෙයි.
මේ පසුගාමී දෘෂ්ටිවාදයේ බලපෑමෙන් මිදී “ජනතාවට මගක් ඇතේ” කියන්න පුළුවන් පිරිස ඒක කරන්න විභවයක් දරනවද කියලා. ඒ විතරක් නෙවෙයි අඩුම තරමෙ එයාලගෙ ව්‍යාපාරය ඇතුළෙ මහත් බරෙන් එල්ලිලා ඉන්න සමහර පූර්වගාමී අගති අතාරින්න හැකි වෙලාද කියන එකත්.
සැන පිටු පෙරළුම් කියවීමක් කරගෙන යා හැකි කෘතියක්. කියවීම ලාබයක් අත් කර දෙන කෘතියක්. ඒ වුණත්, මගෙ කල්පනාව නම් “රතු ඉරි අඳින අත” අමරකීර්තිගෙ සාහිත්‍ය චාරිකාවෙ ඉහළ කොටසේ ලැගුම් ගන්න එකක් විදිහට නෙවෙයි.
ඉහත සියලුම ලාබ එක්ක කෘතියෙ තියනවා මොකක්දෝ කඩිමුඩි ගතියත්.
ටිකක් පැතලි, වාර්තාමය ගතියක්. ඒක ත්‍රාස කථා ප්‍රවර්ගයෙ ස්වභාවය කියන්න බෑ. වටවංගු ගහලා කරකවල අතහරින සිදුවීම් එක්ක ගොතාගෙන ආව කෘතියෙ අන්තිමට චින්තා, බඩී මරන්න ගෙනි යන අවස්ථාව-සජ්ජා චින්තාව මරන බව පාඨකයා කලින්ම ග්‍රහණය වීම කෘතියෙ ගලාගෙන ගිය ත්‍රාස කථා ගුණයට හානියක්.
ඒ වගෙ අඩුපාඩුත් කිහිපයක්. කාලෙකින් මාව සසල කරපු කෘතියක් වුණු “අහම්බකාරක” පහු කරන්න “රතු ඉරි අඳින අත” සමත් වෙලා නෑ කියලා හිතනවා.
ඒත් මේක අතනොහැර කියවිය යුතු කෘතියක්.
– සඳුන් ප්‍රියංකර විතානගේ –