උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි වී තිබෙනවා.
එම කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මහතා සඳහන් කළේ, රටේ අහිංසක ගොවි ජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් බවත්, මෙය මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් බවයි.
උතුරු මැද පළාත් සභාව 2011 වර්ෂයේදී රුපියල් කෝටි 117කට අධික ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කර ඇතැයිද එම කමිටුවේදී තොරතුරු අනාවරණයවී තිබෙනවා.
එසේම රුපියල් කෝටියක් පමණ වැය වන මාර්ග කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි හතර හමාරක් පමණ වැය කර ඇතැයි කමිටුව පවසනවා.
මෙපමණ මුදලක් වැය කළත් මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් කෙටි කලකින් ඒවා අබලන් වී ඇති බවද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ අතර දරුවන් 500ට අඩු පාසලකට කෝටි 54ක් වටිනා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට අත්තිකාරම් ලෙස ගෙවූ රුපියල් කෝටි 10ක මුදලක් අපතේ ගොස් ඇතැයිද එම පාසල දැන් වල් බිහි වී ඇතැයිද කමිටුවේදි හෙළි වී තිබෙනවා.