සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටි බෞද්ධාලෝක මාවත ආසන්නයේ නිවසක විදුලි බිල සම්බන්ධයෙන් පළවන විවිධ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා තිබෙනවා.
එම නිවසේ විදුලි සැපයුම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් තිබූ බවත් තමා විදුලි බිල් ගෙවීමට කටයුතු කළද අදාල ගැටළු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැණීමට තමා කටයුතු කරමින් සිටින බවත් එහිදී ඔහු පවසා සිටිනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටි නො 400/53, සරණ පාර (ඕෆ් බුලර්ස් රෝඩ්) දරණ නිල නිවසේ විදුලි ගිණුම් අංක 0794072623 යටතේ පරිභෝජනය කරන ලද විදුලිය සඳහා රුපියල් එක්කෝටි විසි ලක්ෂ පනස් හයදහස් අටසිය තුනයි ශත තිස් අටක (12,056,803.38) විදුලි බිල ගෙවන ලෙසට දැනුම් දෙමින් ලිපියක් නිකුත් කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවිය.
සාමාන්‍ය ජනතාවට රුපියල් දෙදහසක හෝ තුන් දහසක මුදලක් ගෙවීමට නොහැකි වූ විට එම නිවසේ විදුලි කප්පාදු කළත් කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ එක් කෝටි විසි ලක්ෂයක විදුලි බිලක් තිබුනත් එලෙස සිදු වී නොමැති බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පෙරේදා (24) දිනපාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ජනාධිපතිවරයා එක් රටක් එක් නීතියක් ගැන කතා කළත් සාමාන්‍ය ජනතාවට එක් නීතියක් සහ කැබිනට් අමාත්‍යවරුන්ට එක නීතියක් බවයි මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ.
සෞඛ්‍ය ඇමැතිවරයා ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කළ විශේෂ ප්‍රකාශයයේ පරිවර්තනය පහලින්,
“මා පදිංචිව සිටි නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විවිධ වාර්තා පළ කර තිබෙනවා මා දුටුවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදීත් මගේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වුණා. මම මේ නිවසේ පදිංචියට පැමිණෙන්නේ 2015 වසරේදී. ඒ පැමිණෙන විට මා දුටුවා අපට ලැබුණේ සාමාන්‍ය මට්ටමේ විදුලි බිල් රු.25,000-30,000 අතරේ, ඒ සීමාවල් සාධාරණයි. ඒ නිසා මම ඒ බිල් ගෙවා දැමුවා. නමුත් පසුව මට දකින්නට ලැබුණා මේ විදුලි බිල් වල බරපතළ වෙනසක්. ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂය, 150,000. ඇතැම් අවස්තාවල ලක්ෂ 2ක වගේ. එක් අවස්ථාවක රුපියල් 760,000 බිලකුත් මට ආවා.
මේ විදිහට මාසෙන් මාසෙට හිතාගන්න බැරි විදියට බිල් වෙනස් වුණා. මට මේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් සිදු කර ගන්න අවශ්‍ය වුණා. ඒ පැහැදිලි කර ගැනීම සිදු කරගත හැකි එකම ස්ථානය තමයි ලංකා විදුලිබල මණ්ඩලය. මේ පිළිබඳව මං ඔවුන්ට අවස්ථා ගණනාවක දී කියා සිටියා. මම අවස්ථා දෙකකදී ලංකා විදුලිබල මණ්ඩලයට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කලා. මා හිතන්නේ දහ වතාවකට වැඩිය මම ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. ඔවුන් ඒ අවස්ථා වලදී මේ පිළිබඳව සොයා බලනවා කිව්වා කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. ඊට අමතරව මේ ආපු විදුලි බිල් විවිධ අයගේ නම් වලටත් ආවා. මේක මට බරපතළ ප්‍රශ්නයක්. මොකද මම යම්කිසි ගෙවීමක් කරනවා නම් ඒ සඳහා මට පදනමක් තිබිය යුතුයි. අවම තරමින් මගේ ආදායම් වාර්තාවට පෙන්වන්නට හෝ, එසේත් නොමැති නම් යම්කිසි අය කර ගැනීමක් සිදු කර ගැනීමට හෝ මගේ නම තිබිය යුතුයි. නමුත් මේ දක්වා ඒ නිවසේ විදුලි බිලට මගේ නම ඇතුළත් කරලා නැහැ.
මේ තත්ත්වයම මගේ නිවසේ වතුර බිලටත් තිබුණා. නමුත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කළ වහාම ඔවුන් එය නිවැරදි කළා. මේ සම්බන්ධයෙන් මා හිතන්නේ විදුලිබල මණ්ඩලය අවස්ථා දෙකේදීම මගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නට සමත් වුණේ නැහැ. ඔය අතර වාරේ පසුගිය ජනවාරියේ මට මිලියන හතක විදුලි බිලක් ආවා. මම ඒ බිල ගෙවා දමන්නට තීරණය කළා. නමුත් ඒ මුදල ඇරගෙනත් ඔවුන් ලදු පත නිකුත් කළේ මේ නිවසේ මට පෙර පදිංචිව සිටි පුද්ගලයාගේ නමටයි. මේ සියලු අවුල් සහගත තත්වයන් තිබියදීත් මා එම මුදල ගෙවා දැමුවේ මම මේ රටේ වගකිවයුතු පුද්ගලයකු නිසයි. නමුත් දැන් මා මේ කාරණය මගේ නීතිඥයින්ට බාර දීලයි තියෙන්නේ.”

Following a story on Social Media about an outstanding electricity bill invoiced to my residence, I would like to state the following with a video explanation. I trust this will empower you to make the right judgement & not give ear to misinformation & fake news. pic.twitter.com/kJday2qMvE
— Keheliya Rambukwella (@Keheliya_R) February 25, 2022