අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට ඊයේ (28) පෙරවරුවේ පැමිණීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව මෙලෙස වහාම සොයා බැලිය යුතු බවයි අමාත්‍යවරයා දන්වා ඇත්තේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ ලිපිය සම්පාදනය කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ගොස් තිබුණද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ සිරි රණසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමට සූදානමක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඊයේ (28) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිළිබදව රජය කණගාටුවට පත්වන බවයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයකින් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවටත් මෙම කරුණ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැදිහත්වී ඇතිබවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලංකාදීප පුවත්පත් මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කිරීමට එම කාර්යාලයට යෑම විශේෂත්වයක්.
මේ අතර, සුදුලූණු වංචාව සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදු කරන මෙන්ද අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.