24 C
Colombo
Wednesday, January 22, 2025

450 ට කන්න බැරි වුණත් 110 ට කන්න කියන ඇමතිලා

- Advertisement -

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ලැබෙන ආහාර වේල “කන්න පුලුවන් මට්ටමේ“ නැහැ කියලා පහුගිය දවස්වල මැති ඇමතිවරුන්ගෙන් චෝදනා එල්ල වුණා. මේ ආහාර වේල වෙනුවෙන් ඔවුන්ගෙන් රුපියල් 450 ක මුදලක් අය කරගත්තත් එය දිව පිනවන රසයකින් යුතු නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ අය එහෙම කියන අතරේම, ඔවුන්ගේ රජයෙන්ම පාලනය වන පාසැල්වල එක් සිසුවෙකුගේ දිවා ආහාරය වෙනුවෙන් ඔවුන් වෙන් කරලා තියෙන්නේ රුපියල් 110 ක මුදලක් විතරයි. රුපියල් 450 ක මුදලකට කටට රසට කන්න බැරි වුණාට රුපියල් 110 ක මුදලකට කටට රසයට කන්න පුලුවන් කියලා ඇත්තටම ඔවුන්ට හිතෙනවා ඇති.

පාසැල් සිසුන් වෙනුවෙන් දිවා ආහාරය සැපයීම සදහා මුදල් වෙන් කිරීම සිදු වුණේ මීට මාස 6 කට විතර කලින්. ඒ මුදලට සැපයිය යුතු දිවා ආහාර මෙනුවකුත් නිකුත් කරලා තියනවා. සතියේ දින පහ වෙනුවෙන් එකී මෙනුව මේ ආකාරයි. කුඩා අඬු කෝප්පයක ප්‍රමාණයට බත්, පරිප්පු හෝ අල හොදි, එක් දිනකට එක් වර්ගයක එලවළුව බැගින් දින පහට එලවළු වර්ග පහක්, පලා වර්ගයක්, මාංශමය ආහාරයක්, ඒ කියන්නේ කුඩා ගිනි පෙට්ටියක ප්‍රමාණයේ මාලු කැබැල්ලක් හෝ බිත්තරයක් හෝ කුඩා කරවල කැබැලි තුනක් පමණ හෝ හාල් මැස්සන් හෝ සෝයා මීට් කියන වර්ග පහෙන් දිනකට එක් වර්ගයක් සහ ආහාරයෙන් පසු අතුරුපසක් විදියට දේශීය පළතුරු වර්ගයක්, ඒ කියන්නේ පේර කැබැල්ලක් හෝ පැපොල් තීරුවක් හෝ වෙරළු ගෙඩි දෙක තුනක් හෝ කෙසෙල් ගෙඩියක් හෝ නෙල්ලි, බෙහෙත් නෙල්ලි වැනි පළතුරක්. මේ ආහාර වේල වෙනුවෙන් තමයි රුපියල් 110 වෙන් කරලා තියෙන්නේ. දැන් අපි බලමු මේ එක් එක ආහාරය වෙනුවෙන් වැය වන මුදල කීය ද කියලා.

සාමාන්‍යෙයන් එක හාල් කිලෝ එකක් දරුවන් 10 දෙනෙකුට ප්‍රමාණවත් වෙනවා. සමස්තයක් විදියට හාල් කිලෝ එකක මිල රුපියල් 200 ක් කියලා හිතමු. හාල් කිලෝ එකක් බත් බවට පත් කරන්න, ඒ කියන්නෙ ගෑස්වලින් හෝ විදුලියෙන් හාල් ඉදෙන්න යන වියදම අවම වශයෙන් රුපියල් 25 ක් කියලා හිතුවොත්, ළමයි දහ දෙනෙකුට බත්වලට විතරක් රුපියල් 225 ක් යනවා. ඒ කියන්නේ එක ළමයෙකුට යන මුදල රුපියල් 22.50 ක්.

ඊළගට පරිප්පු කිලෝ එකකින් ළමයි 20 කට කෑම දෙන්නත් පුලුවන් ළමයි 50 කට දෙන්නත් පුලුවන්. මොකද ඒක තීරණය වෙන්නේ හොද්ද ඒදන විදිය අනුව. අපි හිතමු සමස්තයක් විදියට ළමයි 30 කට පරිප්පු කිලෝ එකක් යොදා ගත්තා කියලා. පරිප්පු කිලෝ එකක් රුපියල් 300- 360 අතර වෙනවා. අවශ්‍ය කුළුබඩු, පොල් කිරි එකතු කරලා පරිප්පු ඇට පරිප්පු හොද්දක් බවට පත් කර ගන්න කිලෝ එකකට වැයවන මුදල රැපියල් 30 ක් කියලා ගණනය කළොත්, ළමයි 30 කට රුපියල් 330 යි. එක ළමයෙකුට රුපියල් 11 යි.

පරිප්පු වෙනුවට අලවලින් හොදි හැදුවොත් අල කිලෝ එකක් රුපියල් 350-450 අතර වෙනවා. කිලෝ එකකින් කී දෙනෙකුට කන්න් දෙන්න පුලුවන් ද කියලා තීරණය වෙන්නේ කපන අල කෑලිවල ප්‍රමාණය අනුව. අපි හිතමු කිලෝ එකක් ළමයි 20 කට ප්‍රමාණවත් කියලා. කලින් වගේම කුළුබඩු සහ පොල් කිරි එකතු කරලා පිස ගන්න රුපියල් 30 ක් තියමු. ඒ කියන්නේ රුපියල් 380 කින් ළමයි 20 යි. එක ළමයෙකුට රුපියල් 19 යි.

ඊළගට එළවලුවක්. බෝංචි නම් මේ දවස්වල කිලෝ එක 450-600 වගේ වෙනවා. මෑ, බණ්ඩක්කා, වට්ටක්කා, ගෝවා වගේ එළවළු වර්ග කිලෝව රුපියල් 150 – 750 අතර මිල ගණනවලට අලෙවි වෙනවා. ඒ නිසා සමස්ථයක් විදියට මධ්‍යනය අගයක් පාවිච්චි කළොත් එක් ළමයෙකු වෙනුවෙන් රුපියල් 18 ක් වගේ වෙනවා.
දැන් මාංශ ආහාර වෙත යමු. බිත්තරයක් රුපියල් 35-55 අතර වෙනවා. අවම මුදල 35 නිසා එක් ළමයෙකුට ඒ සඳහා රුපියල් 35 යි.

මාළුවලින් අඩුම මාළු වර්ගය තමයි පොඩි මාළු. සාලයා, සූඩයා, හුරුල්ලා වගේ පොඩි මාළු කිලෝ එකක් 500 කට විතර මීගමුව ලෙල්ලමෙන් ගන්න පුලුවන්. කිලෝ එකකින් ළමයි 30 කට දෙන්න පුළුවන් කියලා හිතමු. කුළුබඩු සහ පිසීමේ වියදම් රුපියල් 50 ක් තැබුවොත් එක් ළමයෙකු සදහා රුපියල් 19 ක් විතර වැය වෙනවා. නමුත් ලොකු මාළු මිල නම් ඉතාම ඉහළයි. ඒ නිසා එය රුපියල් 25 ක් වත් වෙන්න ඕනෙ. කුකුළු මස් කිලෝ එකක් 1000-1400 අතර වෙනවා. කිලෝ එකකින් ළමයි 20 කට දුන්නොත් පිසීමේ වියදම් එක්ක එක ළමයෙකු සඳහා වැයවන මුදල රුපියල් 40 ක් විතර වනවා.

පළා වර්ගය සහ දේශීය පළතුරු වර්ගයක් කියන දෙකම වෙනුවෙන් රුපියල් 10 ක් කියලා හිතමු. මේ සියළුම මිල ගණන් ලබා ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරලා තියන Daily consumer price report වාර්තාවෙන්. https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/price-report

ඉහත ගණනය කිරීම්වලට අනුව බිත්තර සහිත කෑම වේලකට එක් ළමයෙකු වෙනුවෙන් වැයවන මුදල සම්පූර්ණ මුදල රුපියල් 104.50 ක් විතර වෙනවා.
කුඩා මාළු සහිත කෑම වේලකට එක් ළමයෙකු වෙනුවෙන් වැයවන මුදල සම්පූර්ණ මුදල රුපියල් 88.50 ක්.කුකුළු මස් සහිත කෑම වේලකට එක් ළමයෙකු වෙනුවෙන් වැයවන මුදල සම්පූර්ණ මුදල රුපියල් 109.50 ක්.

මේ වියදම් ගණනය වෙන්නේ එක් කෝකිවරයෙකු විසින් කිසිම සහායකයෙකුගේ සේවයක් ලබා නොගෙන තනිව සියලුම ආහාර පිසීමේ කාර්යයන්වල නිතර වුණොත් විතරයි. ඒ වගේම මෙයට එකී කෝකියාගේ ශ්‍රමය සඳහා වන වැටුප එකතු කරලත් නැහැ. ඒවා එකතු කළාට පස්සේ ඉහත ගණනයන් 110 ඉක්මවා යනවා කියන එක පැහැදිලියි.

ඉතින්, රුපියල් 450 කට කන්න තියන බිරියානි එකේ රස හොයන්න කලින් මේ දරුවන්ට දෙන ආහාර වේලට තවත් මුදලක් එකතු කරන්න හිතෙන ඇමතිවරයෙක් නැති එක ගැන තමයි අපි කණගාටු වෙන්න ඕනෙ.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...