මොඩර්නා එන්නත පළමුවරට අද ශ්‍රී ලංකාවට රැගෙන ආවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ලැබෙන මෙම එන්නත් මාත්‍රා මිලියන 1.5 රැගත් කටාර් ගුවන් සේවයට අයත් යානය පෙරවරු 9ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වුණා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එන්නත් තොගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු පිරිසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටි අතර මෙරට ඇමෙරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් සංකේතාත්මකව එන්නත සෞඛ්‍ය අමාත්‍යවරියට භාර දුන්නා.
මෙම එන්නත් තොගය පුද්ගලයින් 750,000කට මාත්‍රා දෙක බැගින් ලබා දීමට ප්‍රමාණවත්.
මොඩර්නා, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක්.
මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබෙනවා.
එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා.
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක්.
ෆයිසර් (Pfizer) එන්නතට සමාන තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම එන්නත ගබඩා කිරීම සඳහා සෙල්සියස් අංශක -50 සිට -20 අතර අධි ශීත තත්වයක් පවත්වා ගත යුතු බව දක්වාත් තිබූ නිසා මුල් අවස්ථාවලදී අදාළ යටිතල පහසුකම් නොමැතිව බොහෝ රටවලට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුණා.
නමුත්, පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් දින 30 ක කාලසීමාවක් පුරාවට සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක විවෘත නොකළ එන්නත් මාත්‍රා තබාගත හැකි බව සොයා ගැනීමත් සමග බොහෝ රටවලට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ගැටළුවට විසඳුම් ලැබුණා.
ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත යන දෙකම mRNA එන්නත් ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ ප්‍රතිදේහජනකය ලෙස අඩංගු වනුයේ කොරෝනා වෛරසයේ spike ප්‍රෝටීන කොටස නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ගබඩා වූ mRNA කොටසක් පමණයි.
වාහකයක් ලෙස වෙනත් කිසිදු වෛරසයක් භාවිතා නොකර මෙම mRNA කොටස ආවරණය කිරීම සඳහා lipid nanoparticle (LNP) ආවරණයක් පමණක් යොදාගෙන තිබීම මෙහි විශේෂත්වයක්.
මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට තිබෙනවා.
අනෙක් එන්නත් ලබා ගැනීමෙන් පසුව මෙන්ම මෙම එන්නතෙන් අනතුරුව ද සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් ඉතා කෙටි කාලයකින් සුව වී යන බව නිරීක්ෂණය කර තිබෙනවා.
එලෙස ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ ලෙස වාර්තා වී ඇත්තේ, එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම සහ රතු පැහැ ගැන්වීමට, උණ, හිසරදය, වමනය සහ ඇගපත වේදනාව සහ තෙහෙට්ටු ගතියක් ඇතිවීමයි.
මොඩර්නා එන්නත ලැබීමත් සමග කොරෝනා මර්දනය සඳහා මේ වනවිට මෙරටදී භාවිතයට ගැනෙන එන්නත් වර්ග ගණන පහක් දක්වා ඉහළ යනවා.
දැනට ශ්‍රී ලංකාව එන්නත්කරණ වැඩසටහන සඳහා ඇස්ට්‍රොසෙනිකා(කොවිෂීල්ඩ්), ස්පුට්නික් වී, සයිනොෆාම් සහ ෆයිසර් යන එන්නත් භාවිත කරනවා.
ඊයේ වන විට මෙරට පුද්ගලයින් 5,175,605 කට කොවිඩ් 19 මර්දන ඕනෑම එන්නතක පළමු මාත්‍රාව ලබා දී අවසන් වන අතර මාත්‍රා දෙකම සම්පූර්ණ වූ පුද්ගලයින් ගණන1,628,876 ක්. මෙරටට ලැබුණු මොඩර්නා එන්නත මාත්‍රා දෙක බැගින් පුද්ගලයින් 750,000 කට ලබා දීමට නියමිතයි.

