රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කර තිබෙනවා.
මෙය මහාද්වීප හරහා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර සාමූහික ගෝලීය ක්රියාමාර්ගයකින් තොරව එම ව්‍යාප්තිය නතර නොවනු ඇති බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.
එහි මරණ අනුපාතය වසූරියට වඩා අඩු වුවද, දැනට පවතින ව්‍යාප්තිය නැවැත්වීමට පියවර නොගතහොත්, මිලියන ගණනක් මිනිසුන් මිය යනු ඇති අතර තවත් බොහෝ දෙනෙක් අන්ධ හා ආබාධිත තත්ත්වයට පත් වනු ඇති බව එහි සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය ජාලය පවසන්නේ වඳුරු වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමේ අත්‍යවශ්‍ය අරමුණ වන්නේ දැනට පුළුල් ලෙස පැතිරී ඇති හානිය වැළැක්වීම සඳහා රටවල් කිහිපයක් හෝ ලොව පුරා සාමූහික උත්සාහයක යෙදීම සාක්ෂාත් කර ගැනීම බවයි.
වෛරසයක් ව්‍යාප්ත වීමට පෙර නැවැත්විම ආර්ථික වශයෙන් ලාභදායක බව කොවිඩ් ව්‍යාප්තියේ මුල් මාස 18 ලෝකයට පෙන්වා දුන් බව ආර්ථික විද්‍යාඥ සිසිලි ෆිලිප්ස් පෙන්වා දෙනවා.
වඳුරු උණ සහ වසූරිය පැමිණෙන්නේ Orthopoxvirus නම් එකම වෛරස් පවුලෙනි. වඳුරු පොක්ස් යනු මීයන් සහ ප්රයිමේටාවන් තුළ ඇති වී මිනිසුන්ට සම්ප්‍රේෂණය වන වෛරස් ආසාදනයකි. එය අප්‍රිකාවේ, වැඩි වශයෙන් නිවර්තන වැසි වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව හමු වූ නමුත් දැන් ලොව පුරා විශේෂයෙන් බටහිර රටවල ද ව්‍යාප්තව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව,ආරම්භක රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වයයි.
උණ අඩුවී ගිය පසු, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (බොහෝ විට අත් සහ පාද වෙත) ද පැතිර යා හැක.
කැසීම දරුණු විය හැකි අතර, අවසානයේ විවිධ අවධීන් හරහා ගොස්, හැලී යන කබොල්ලක් බවට පත්වේ. අවසානයේ තුවාල කැළැල් ඉතිරි විය හැක.
ආසාදනය සාමාන්‍යයෙන් ස්වයං ව පහව යන අතර දින 14 සිට 21 දක්වා පවතී.
- තද උණ
- වසා ගැටිති ඉදිමීම
- මාංශ පේශි සහ ශරීර කැක්කුම
- ඇඟපුරා බිබිලි මතුවීම
- කුෂ්ඨ වැනි තුවාල
- පිටෙහි වේදනාව
එය වැළඳෙන්නේ කෙසේද?
වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මන්කිපොක්ස් වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන බවයි.
යමෙක් ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට වඳුරු උණ රෝගය පැතිර යා හැක. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු විය හැකිය.
එය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ලෙස මීට පෙර විස්තර කර නැති නමුත් එය ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය විය හැක.
වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් මගින් ද එය පැතිර යා හැකිය.

රෝගය හඳුනා ගැනීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට තිබේද?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ Monkeypox පරීක්ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ හැකියාව ඇති බවයි.
තම රසායනාගාරයේ රෝග විනිශ්චය කිරීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් ඇති බවත්, දැනටමත් ඇණවුම් කර ඇති අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක මෙම සතිය තුළ ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.