මුහම්මුද් නබිතුමාගේ හිස සුනඛයෙකුගේ සිරුරකට යොදා චිත්‍රයකට නැගූ ස්වීඩන් කලාකරු ලාර්ස් විල්ක්ස් රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
ලාර්ස් විල්ක්ස් සිවිල් පොලිස් වාහනයක ගමන් කරමින් සිටියදි දකුණු ස්වීඩනයේ මාකරිඩ් නගරය අසලදී ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මියගොස් ඇති අතර, ලොරි රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.
ඔහු විසින් චිත්‍රයට නගන ලද කාටූනය හේතුවෙන් 75 හැවිරිදි කලාකරුවාට මරණ තර්ජන එල්ල වී තිබූ අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දිවි ගෙවීය.
අනතුර සිදුවූයේ කෙසේද යන්න තවමත් අපැහැදිලි අතර, වෙනත් පුද්ගලයෙකු ඊට සම්බන්ධ බවට පැවසීමට මුලික සාක්ෂි කිසිවක් නොමැති බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
“වෙනත් ඕනෑම මාර්ග අනතුරක් මෙන් මෙය ද විමර්ශනය කෙරෙමින් පවතිනවා. පොලිස් භටයින් දෙදෙනෙක් ද මේ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන නිසා රජයේ නීතිපති කාර්යාලයේ විශේෂ අංශයකට පරීක්ෂණය පවරා තිබේ,” ස්වීඩන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා AFP පුවත් සේවයට පවසා තිබේ.
අනතුර සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියාවක් ඇතැයි සැකයක් නොමැති බව ද ඔහු පැවසීය.
ලාර්ස් විල්ක්ස් ගමන් කරමින් තිබුණු පොලිස් රථය අධික වේගයෙන් ධාවනය වු බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇසින් දුටු එක් සාක්ෂිකරුවෙක් ඇෆ්ටොන්බ්ලැඩෙට් (Aftonbladet) පුවත්පතට පවසා ඇත්තේ, ලාර්ස් විල්ක්ස් සිටි රථය පාලනයෙන් ගිලිහුණු ලෙස තමන්ට සිතුණු අතර, එය අධික වේගයෙන් මාර්ගයේ අනෙක් පසට පැමිණි ගමන් කර බවයි.
එවිට ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයට අනතුර වළක්වා ගැනීමට වෙලාවක් නොතිබූ අතර පසුව “ඇදහිය නොහැකි වේගයකින්” මහා හඬක් නඟමින් ඔවුන්ගේ රථ ගැටුණු බව ඔහු තවදුරටත් පැවසා තිබේ.
2007 දී නිර්මාණය කළ මෙම කාටූනය මුස්ලිම්
ජනතාවගේ කෝපයට හේතු වීමත් සමග ලාර්ස් විල්ක්ස් ලොව පුරා මාතෘකාව බවට පත් විය.
එම තත්වය සමනය කිරීමේ උත්සාහයක් ලෙස එවක ස්වීඩනයේ අගමැති ෆ්රෙඩ්රික් රයින්ෆෙල්ඩ්ට මුස්ලිම් රටවල් 22 ක තානාපතිවරුන් හමුවීමට ද සිදු විය.
කලකට පසු, ඉරාකයේ අල් ඛයිඩා සංවිධානය ලාර්ස් විල්ක්ස්ගේ ඝාතනය සඳහා ඩොලර් 100,000ක ත්‍යාගයක් පිරිනමන බවට නිවේදනය කෙරුණි.
2015 දී කෝපන්හේගන්හිදී ලාර්ස් විල්ක්ස් සහභාගී වූ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ විවාදයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් චිත්‍රපට අධ්යක්ෂවරයෙක් මිය ගිය අතර ලාර්ස් විල්ක්ස් කියා සිටියේ ප්‍රහාරයේ ඉලක්කය ඔහු විය හැකි බවයි.