28 C
Colombo
Wednesday, April 24, 2024

මුම්බාය ලෙයින් නැහැවූ පාකිස්ථාන ත්‍රස්තවාදයේ කදුළු මතකය

- Advertisement -

AK – 47 ඇතුළු නවීන ගිනි අවි, පිස්තෝල මෙන්ම , අත් බෝම්බ ඇතුළු තවත් ආයුධ වලින් මෙම ත්‍රස්තයින් සන්නද්ධ කරච්චිහිදී ත්‍රස්ත පුහුණුව ලැබූ පාකිස්තාන තරුණයින් 10 දෙනෙක් 2008 වසරේ නොවැම්බර් මස 21 වැනිදා එරටින් පිටත් වූයේ සදාකාලික පසමිතුරු අසල්වැසි ඉන්දියාව ලෙයින් නැහැවීමේ කුරිරු අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමේ දුස්අරමුණද පෙරදැරිවයි.

පැය 38 ක දීර්ඝ ගමනකින් පසු ත්‍රස්තයන් ඉන්දීය මුහුදු සීමාවට රහසිගතව ඇතුලු වුණා. එහිදී තමන් පැමිණි යාත්‍රාව අත්හැර දමා ඉන්දිය ධීවරයින්ට අයත් ටෝලර් යාත්‍රාවක් පැහැර ගත් ත්‍රස්තවාදීන් එහි සිටි ධීවරයින් සිව් දෙනෙක් වෙඩි තබා ඝාතනය කළා.

කෙසේ වෙතත් ට්‍රෝලර් යාත්‍රාව හසුරවන්නා ඔවුන් සිය ග්‍රහණයේ තබා ගන්නේ ඉන්දියාවේ මුම්බායි වෙරළ තීරය වෙත බාධාවකින් තොරව ළඟා වීම පහසු කරගැනීමටයි.

ඒ අනුව නාවික සැතපුම් 04ක දුරක් පැමිණෙන ඔවුන් යාත්‍රාව හසුරවන්නාද වෙඩිතබා මරා දැමුවා.

අනතුරුව කුඩා රබර් බෝට්ටුවකට ගොඩවෙන මෙම පාකිස්තාන ත්‍රස්තයින් මුම්බායි නුවර කොලාබා ප්‍රදේශයෙන් ඉන්දියානු භූමියට ඇතුළු වුණේ ලොව එතෙක් මෙතෙක් සිදුවූ දරුණුතම ප්‍රහාරයක් දියත් කිරීමටයි.

පාකිස්ථානයේ සිට එතෙක් එක්ව පැමිණි මෙම ත්‍රස්තයින් 10දෙනා එකවර ස්ථාන කිහිපයකට පහරදිම සඳහා කුඩා කණ්ඩායම් ලෙස බෙදී විසිර ගියා.

ඉන් අජ්මාල් කසාබ් හා ස්මයිල් රාත්‍රි⁣ 9ට පමණ මුම්බායි නුවර සිවාජි දුම්රියපොළ වෙත පැමිණියා.

ඒ වනවිට සිය දෛනික රාජකාරී අවසන් කර නිවෙස් වෙත මෙන්ම දුරබැහැර නගර වෙත යාමේ අපේක්ෂාවෙන් සිටි ඉන්දියානුවන්ගෙන් සමස්ත දුම්රියපොළම අතුරු සිදුරු නැතිව පිරී පැවතියා.

එහිදී සිය පළමු ප්‍රහාරය දියත් කළ මෙම ලේ පිපාසිත ත්‍රස්තයින් දෙදෙනා දුම්රිය ස්ථානය තුල සිටි නිරායුධ සිවිල් වැසියන් 58 දෙනෙකු වෙඩි තබමින් හා අත් බෝම්බ ප්‍රහාර එල්ල කර මරා දැමූවා. ප්‍රහාරයට ලක් වූ තවත් 100කට අධික පිරිසක් එහිදී තුවාල ලැබුවා.

දුම්රිය පොලේ සිටි මගීන්ට ප්‍රහාර එල්ල කළ එම ත්‍රස්තයන් දෙදෙනාගේ මීළඟ ඉලක්කය බවට පත්වූයේ මුම්බායි නුවර පිහිටි රෝහලක්.
රෝහලේ සිටි අසරණ රෝගීන්, වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසකට එහිදී මෙම ත්‍රස්තයන් හිත් පිත් නොමැතිව වෙඩි තැබූ අතර කිහිප දෙනෙකු එහිදීද ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතරවාරයේ තවත් ත්‍රස්තවාදීන් දෙදෙනකු දකුණුදිග මුම්බායි හි පිහිටි ලියෝ පෝල්ඩ් කැෆේ නම් ස්වදේශික ඉන්දියානුවන්ගේ මෙන්ම සංචාරකයන් ලෙස පැමිණෙන විදේශිකයන් අතරද ඉතා ජනප්‍රිය අවන්හල වෙත කඩා වැදී රාත්‍රී ආහාර ගමින් සිටි නිරායුධ ජනතාවට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීම ආරම්භ කළා.

රාත්‍රි 9:30 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු දස දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් එහිදී තුවාල ලැබුවා.

තැන තැන සිදු කෙරුණු ත්‍රස්ත ප්‍රහාරවලින් සලිත වී තිබූ මුම්බායි නුවර භීතියෙන් තවත් ඇළලී ගියේ , නගරයේ ස්ථාන දෙකක මෝටර් රථ තුල සවි කර තිබූ කාල බෝම්බ දෙකක් ද පුපුරා යාමත් සමගින්.

පාකිස්තාන ත්‍රස්තයන්ගේ මීළඟ වැදගත් හා ප්‍රධානතම ඉලක්කය වුණේ මුම්බායි නුවර සුප්‍රසිද්ධ ටාජ් හෝටලයයි.

ආගන්තුකයින් ලෙසින් එම හෝටලයට ඇතුලු වූ ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් ආලින්⁣දයේ දී මුහුණට හමුවන සියලු.දෙනාට වෙඩි තැබුවා.

අනතුරුව ඔවුන් එහි සිටි සංචාරකයන් ප්‍රාණ ඇපයට ගත්තා.

26 වෙනිදා රාත්‍රී කාලයේ ටජ් මහල් හෝටලයට ඇතුළු වූ ත්‍රස්තවාදීන් මරා දමා එහි ප්‍රාණ ඇපයට ගෙන සිටි නිරායුධ වැසියන් මුදා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ වලට හැකි වුනේ 29 වැනිදා අලුයම් කාලයේයි.

හෝටල් පරිශ්‍රය තුළ රැඳී සිටි අතරවාරයේ දී ත්‍රස්තවාදීන් එම හෝටල් පරිශ්‍රය තුළ පිපිරීම් හයක් සිදුකළ බව වාර්තා වුණා.

කෙසේ වෙතත් ගැටුම් පැවති  අතරවාරයේදී හෝටලය තුළ රැඳී සිටි සංචාරකයන් 250 කට වැඩි පිරිසක් අවස්ථා කිහිපයකදීම මුදාගන්නට ඉන්දිය ආරක්ෂක අංශ කටයුතු කලේ හෝටලයේ විවිධ ස්ථාන වල සැගව සිටි ත්‍රස්තයින්ගේ අනුකම්පා විරහිත ප්‍රහාර වලටද නොබියව මුහුණු දෙමින්.

ලෝකයේ ම දැඩි අවධානයට යොමු වූ ටජ් මහල් හෝටලයට එල්ල වූ ප්‍රහාරයේ දී විදේශිකයන් ඇතුළු ඉන්දීය ජාතිකයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මීට අමතරව ත්‍රස්තයන්ගේ තවත් ඉලක්කයක් බවට පත්වූයේ මුම්බායි හි පිහිටි ඔබරෝයි හෝටලයයි

එම හෝටලයේදී ද සංචාරකයන් තිස් දෙනෙකුට දිවි අහිමි වූ අතර මුදා ගැනුණු සංඛ්‍යාව 143ක්.

මීට අමතරව මුම්බායි නුවර පිහිටි යුදෙව් ජාතික මධ්‍යස්ථානයකට ද ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඇතුළු වී , මේ අතරවාරයේදී ප්‍රහාර එල්ල කළා.

එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07ක්.
මෙම යුදෙව් මධ්‍යස්ථානයට ඇතුළු වූ පාකිස්තාන ත්‍රස්තවාදීන් මරා දැමුණේ , ඉන්දියානු කොමාන්ඩෝ බලකාය හෙලිකොප්ටර් ආධාරයෙන් පැමිණ ඊට ඇතුළු වීමෙන් අනතුරුවයි.

ඒ අනුව පාකිස්තාන ත්‍රස්තවාදීන් දින හතරක් පැය 60කට ආසන්න කාලයක් පුරා මුම්බායි නගරයේ ස්ථාන 12කදී සිදුකළ වෙඩි තැබීම සහ බෝම්බ පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත්වූ ඉන්දියානුවන් හා විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 175ක්.

මෙම ප්‍රහාරවලින් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දීය ආරක්ෂක අංශ වල ප්‍රති ප්‍රහාරවලින් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් දස දෙනාගෙන් නව දෙනකු ම ජීවිතක්ෂයට පත්වුණා.

දකුණුදිග මුම්බායි දුම්රිය ස්ථානයට ප්‍රහාර එල්ල කර පසුව ද තවත් රෝහලකට කඩාවැදී පළා යමින් සිටි ත්‍රස්තවාදීන් දෙදෙනකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ඉන්දීය පොලිසිය කටයුතු කළත් එහිදී ඇති වූ වෙඩි හුවමාරුවේ දී පළා යමින් සිටි එක් ත්‍රස්තවාදියෙකු  ජීවිතක්ෂයට පත්වූණා.

කෙසේ වෙතත් අජ්මාල් කසාබ්  නැමැති ත්‍රස්තවාදියා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබුණා.

මෙම ප්‍රහාර මාලාවේ සුලමුල සොයා ගැනීමට ඉන්දියානු පොලිසියට හැකි වන්නේ ඉන් අනතුරුවයි.

ප්‍රහාරය සඳහා පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ලක්ෂාර්-ඊ-තයිබා නම් ත්‍රස්ත සංවිධානය සම්බන්ධ බවට එහිදී අනාවරණ වුණා.

මුම්බායි ප්‍රහාරය සැලසුම් කළ හා එය මෙහෙයවනු ලැබු පකිස්ථාන ලෂ්කාර්-ඊ-තායිබා ත්‍රස්තයින්, තරුණ සන්නද්ධ පුද්ගලයින් 10 දෙනෙකු මාස ගනණාවක් පාකිස්තානයේ කරච්චි හා තට්ටා යන නගර වලදී මෙම ප්‍රහාරය සදහා පුහුණු කර මුම්බායි වෙත එවා ඇති බව විමර්ශන වලදී අණාවරනය වුණා.

මුම්බායි පොලිස් දෙපාර්තමේන්තුව මුලින් සැකකරුවන් 37 දෙනෙකු හඳුනාගත් අතර පකිස්ථාන හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක පළ වනවා.
සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හැර අන් සියල්ලන්ම හඳුන්වා ඇත්තේ අන්වර්ථ නාමයන්ගෙන්.

මුම්බායි ප්‍රහාරයේදී ජීවග්‍රහයෙන් අල්ලාගත් එකම සැකකරු වන  මොහොමඩ් අජ්මාල් අමීර් කසාබ් පොලිස් විමර්ශන වලදී පසුව අණාවරනය කළේ ඉන්දියාවේ ආර්ථික මර්මස්ථාන විනාශ කර සමස්ථ ඉන්දියාව අඩපණ කිරීම සිය කණ්ඩායමේ අරමුණ වූ බවයි.

කෙසේ වෙතත් 1987 වසරේ උපන් අජ්මාල් කසාබ්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති සිව් වසරක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රස්ත චෝදනා සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වුණා.

ඒ අනුව 2012 වසරේ නොවැම්බර් මස 21 වැනිදා උදෑසන 7.30ට ඉන්දියාවේ පූනේ හිදී අජ්මාල් කසාබ් එල්ලා මරා දැමුවා.

ප්‍රහාරයෙන් වසර දහයකට පසු, හිටපු පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මුම්බායි ප්‍රහාරය පිටුපස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධාන සිටි බව පළමු වරට පිළිගත්තා.

වර්තමාන සාක්ෂිවලින් පෙනී යන්නේ 26/11 ප්‍රහාරයේ දී පාකිස්තානයේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ ත්‍රස්ත සංවිධානවලට අයත් අජ්මාල් කසාබ්, ඩේවිඩ් හෙඩ්ලි සහ සබියුදීන් අන්සාරි යන තිදෙනා ප්‍රහාරයේ මහ මොළකරුවන් බවයි.

ඉන්දියාව විසින් බෙදාගත් ඒවා ඇතුළුව අවශ්‍ය තරම් තමන්ගේම සාක්ෂි තිබියදීත්, 26/11 ප්‍රහාරයේ 13 වැනි සංවත්සරය යෙදෙන අද පවා වින්දිතයන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට පාකිස්තානය තවමත් අවංකව පෙනී සිටින්නේ නැහැ.

පසුගිය නොවැම්බර් 7 වන දින, පාකිස්තාන අධිකරණයක් විසින් මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඇතුලු ලක්ෂාර්-ඊ-තයිබා සංවිධානයේ ත්‍රස්තවාදීන් 6 දෙනෙක් නිදහස් කළා.

ඒ අතර Zaki-ur-Rehman Lakhvi නම් මුම්බායි ප්‍රහාරයේ මහමොළකරු ද වනවා. නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් පන්ජාබ් පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බවයි.

එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්දන සංවිධානය සිය නිරීක්‍ෂණය වැඩි කර ඇති බැවින්, පකිස්තානයේ ත්‍රස්තවාදී කල්ලි එම නිරීක්ෂණවලින් බේරීමට ඔවුන්ගේ නම් වෙනස් කරමින් සිටී.

මීට පෙර, මේ වසරේ අප්‍රේල් මාසයේදී, ඇමෙරිකානු ත්‍රස්තවාදයට එරෙහි සංවිධානයක් හෙළි කළේ පාකිස්තානය ත්‍රස්තවාදීන් 4,000 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් රහසිගතව සිය ත්‍රස්ත නිරීක්ෂණ ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි. ඉවත් කරන ලද නම් අතරට ලක්ෂාර්-ඊ-තයිබා
නායකයා සහ මුම්බායි ප්‍රහාරයේ මහ මොළකරු සකීර් උර් රෙහ්මාන් ලක්වි සහ තවත් බොහෝ අය ඇතුළත්.

මුම්බායි ප්‍රහාරය එල්ල කළ සියලුම දෙනා මරා දැමුවත් පාකිස්තානයෙන් ගලා එන ත්‍රස්ත ප්‍රචණ්ඩත්වයේ ගිණි පුපුරු අදටත් භාරත් මාතාවට එල්ල කරන තර්ජනයේ නිමක් නැහැ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...