ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇති නිර්වචනය මේ වන විට වඩාත් පුළුල් මුහුණුවරක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ වන විට ජාතික ආරක්ෂාව යනු සන්නද්ධ ප්‍රහාරයකින් රටත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීම පමණක් නොව ආර්ථික සුරක්‍ෂිතතාවය, බලශක්ති සුරක්‍ෂිතතාවය, පරිසර සුරක්‍ෂිතතාවය, ආහාර සුරක්‍ෂිතතාවය සහ සයිබර් ආරක්‍ෂාව වැනි අංග රාශියකින් සමන්විත දෙයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
”ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට පැමිණෙන්නේම ජාතික ආරක්‍ෂාව කියන සටන් පාඨය මුල්කරගෙනයි. එක කාලයකදී ජාතික ආරක්‍ෂාව කියන්නේ සන්නද්ධ ප්‍රහාරයකින් රටත් ජනතාවත් ආරක්‍ෂා කර ගැනීම පමණයි. මේ වෙනකොට ඒ අර්ථකථනය පුළුල් වී තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීම, අපරාධ අවම කිරීම, ආර්ථික සුරක්‍ෂිතතාවය, බලශක්ති සුරක්‍ෂිතතාවය, පරිසර සුරක්‍ෂිතතාවය, ආහාර සුරක්‍ෂිතතාවය සහ සයිබර් ආරක්‍ෂාව වගේ අංශ ගණනාවක් ඇතුළත් වී තිබෙනවා. දැන් ජාතික ආරක්‍ෂාව කියන්නේ රටේ බෝම්බ නොපිපිරවීම විතරක් නෙවෙයි. විශේෂයෙන් බලශක්ති සුරක්‍ෂතතාවය ආරක්‍ෂා කර ගන්න නම් ඒ සම්බන්ධ ප්‍රභවයන් තිබෙන්න ඕනෑ. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් තියෙන්න ඕනෑ අදාළ ආනයනයන් කරන්න.
නමුත් වෙනත් රටක් මත බලශක්ති ඒකාධිකාරයක් තිබෙනවා නම් එතැනදී බලශක්ති සුරක්‍ෂිතතාවය අර්බුදයකට යනවා. කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් දැන් ඇතිවීී තිබෙන්නේත් ඒ අනතුරයි. ආහාර සුරක්‍ෂිතතාවයත් ඒ වගෙයි. රටේ ජනතාවට අවශ්‍ය තරම් නිෂ්පාදනයන් රට තුළ තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් ආනයනය කිරීමට ඩොලර් තියෙන්න ඕනෑ. රට තුළ ප්‍රමාණවත් ආහාර නැත්නම් බලවත් අර්බුදයකට යනවා. උදාහරණයක් හැටියට අපේ රටේ තෙල් අර්බුදයක් ඇවිත් තිබෙන්නේ ලෝක වෙළඳපොළේ හිඟයක් නිසා නෙවෙයි, අපේ රටට ඩොලර් නැති නිසා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව දවස් 50කට වහන්න පවා සිදුවී තිබෙන්නේ ඩොලර් නැති නිසා.”
”ආහාර සුරක්‍ෂිතතාව මේ තරම් අර්බුදයකට ගිහින් තියෙන්නේ ආණ්ඩුවේ අමනෝඥ තීරණ නිසා. අප්‍රේල් 27වැනිදා හිටි හැටියේම රසායනික යෙදවුම් තහනම් කරලා කාබනික යෙදවුම්වලට එක්වරම මාරු වීමෙන් මේ තත්වය ඇතිවී තිබෙනවා. පියවරෙන් පියවර වුණත් 100%ක්ම කාබනික වගාවට ගිය රටවල් ලෝකයේ නැහැ. අනිත් පැත්තෙන් කාබනික වගාවේ අස්වැන්න ගුණාත්මකව ඉහළ වුණත් අනිවාර්යයෙන්ම අස්වැන්න 20% සිට 25% දක්වා අඩුවන බව තහවුරු වී තිබෙනවා. දැන් අපට පෙන්නුම් කරමින් තිබෙන්නේ එක රැයින් කාබනික වගාවට මාරු වීම කෙතරම් අවිද්‍යාත්මක අමනෝඥ ක්‍රියාවක්ද කියලයි. රසායනික යෙදවුම් එක වරම තහනම් කිරීමට විසඳුම් හැටියට ගෙනා ක්‍රියාමාර්ග සියල්ල යළි යළිත් අර්බුදයට ගිහින් තිබෙනවා. ඉඳුරුවේ ආචාරියා නම් කඩතොළුෙ දෙකයි හැදුවේ. ආණ්ඩුව කඩතොළු රාශියක් නිර්මාණය කරගෙන තිබෙනවා.
චීන පොහොර ප්‍රශ්නයේදීත් ආණ්ඩුව හත්පොළේ ගාගෙන ඉන්නවා. ආණ්ඩුව එක පාරම චීනයෙන් ඉන්දියාව දිහාට හැරුණා. නැනෝ යූරියා වශයෙන් අදාළ සමාගම පවා නම්කර තිබියදී ආණ්ඩුව කියන්නේ නැනෝ නයිට්‍රජන් ආනයනය කරනවා කියලා. සූර පප්පාගේ මැජික් අරිෂ්ඨය වගේ අස්වැන්න වැඩිවන බව මැති ඇමතිවරු කියනවා. හැබැයි මේ නැනෝ යූරියා ලෝකයට අලුත්. මේ වසරේ ජූනි මාසයේදී ඉන්දීය වෙළඳපොළටත් නැනෝ යූරියා ඉදිරිපත් කර තිබෙන්නේ. ඉන්දියාවටවත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අත්දැකීම් නැහැ. මේ සම්බන්ධයෙන් අපේ රටට හඳුන්වා දීමට පෙර කෘෂිකාර්මික පර්යේෂණ ආයතන මගින් පරීක්‍ෂා කළ යුතුව තිබෙනවා. මේ කිසිවක් අද දක්වා සිදුකරලා නැහැ”