විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණා නොදමන බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ හිමිකාරීත්ව යටතේ පවත්වාගෙන යන බවයි
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ: විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම යන කොටස් වෙන්කිරිම පමණක් බවත්, ආයතන විකිණිමක් කිසි සේත් ම සිදු නොකරන බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.
විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (30) නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ එහි නිධාරීන් සහ සේවකයින් අමතමින්.
“බලයට එන්න ඉස්සර ඉදලම අපි මේ ආයතන විකුණනවට විරුද්ධව වැඩ කළා. අපේ ඒ අරමුණු, වැඩ පිළිවෙල අදත් එහෙමයි. බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල රජයට අයිති අධිපතීත්වය, හිමිකාරීත්වය ආරක්ෂා කරගත යුතුයි කියලා අපි මැතිවරණයට කලින් ඉඳල ම කියල තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. කිසිම විදියකින් අපි මේ ආයතන විකුණන්නේ නෑ. ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපි කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම කියන කොටස් වෙන්කරන එක විතරයි. ඒවා සියයට සියයක් රජය සතු සමාගම්. කිසිම කොටසක් පුද්ගලික අයිතියට හිමිකරන්නේ නෑ. ඒක හින්දා මේ ආයතනවල අනාගතය, සේවක ඔබේ රැකියා සුරක්ෂතතාවය අපි තහවුරු කරනවා.
රටේ දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට හතළිහක් පමණ සපුරන ලක්විජය බලාගාරය මෙරට විදුලි පද්ධතිය අඛණ්ඩව හා ස්ථාවරව පවත්වාගෙන යාමට දක්වන දායකත්වය සැලකිල්ලට ගෙන බලාගාරය ඉහළම තත්ත්වයෙන් යුතුව නඩත්තු කටයුතු කළ යුතුයි. ඉහළම ක්‍රමවේද භාවිත කරමින් පවත්ගෙන යා යුතු යි.’’
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) නාලක විජේකෝන්, බලස්ථාන කළමනාකරු ජී.ඩබ් බමුණුසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.