26.7 C
Colombo
Sunday, July 20, 2025

මැරිලා දවස් පහක් ගිය ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

- Advertisement -

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, ඇයගේ සේවකයෙකු වශයෙන් කටයුතු කළ නිමල් රංජිත් මුතුකුඩ සහ රෝහල් වාට්ටුවේ ලිපිකරුවකු වශයෙන් කටයුතු කළ කේ.එල්. ඉන්දික යන නමැති සැකකරුවන් මෙලෙස රක්ෂිතය බන්ධනාගාර ගත කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර  අධ්‍යක්ෂක(නීති) සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු  දක්වමින් පැවසුවේ,  සැකකාර වෛද්‍යවරිය විසින් තෙවන පාර්ශ්වයක් හරහා වෙනත් පෞද්ගලික පාමිසයකින් රුපියල්  55,000ක මුදලකට ගන්නා ස්නායු ශල්‍ය වෛද්‍ය අයිතම ඇයගේ පෞද්ගලික ආයතනය තුළින් රුපියල් 175,000ක  මුදලකට රෝගී පාර්ශවයන්ට අලෙවි කර තමන්ට පුද්ගලික වාසියක් ලබාගෙන ඇති බවයි.

වෛද්‍ය උපකරණ ලබා ගැනීමේ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගොස්, එනම් වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර වෛද්‍ය උපකරණ සම්පාදනය කරගන්න ලෙස වාට්ටු ලිපිකරුවෙකු වන තෙවන සැකකරු හරහා රෝගීන්ට අදාළ වෛද්‍ය උපකරණ තමාගේ පෞද්ගලික ආයතනයෙන් සම්පාදනය කරගන්නා ලෙස උපදෙස් නිකුත් කරන බවට කරුණු අනාවරණය වී ඇති බවත්  අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

“පසුව දෙවන සැකකරු විසින් එමා  ෆාමා කියන ආයතනයෙන් රුපියල් පනස් පන්දාහකට ආසන්න මුදලකට අදාළ වෛද්‍ය උපකරණ මිලදීගෙන පළමු සැකකාරියට අයත් එම්.එන්.එන් මෙඩිකල්  ආයතනයට ගෙනල්ලා රුපියල් එක් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලකට තමයි රෝගී පාර්ශ්වයට ලබාදෙන්නේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ලබාගත් රෝගීන්ගෙන් අනාවරණය වූ කරුණක් වන්නේ එක් එක් රෝගියාගේ තරාතිරම බලලා තමා අදාළ වෛද්‍ය උපකරණයන්ට මුදල් අය කරගෙන තිබෙන්නේ මෙම පළමු සැකකාරිය, මෙම මුදල් පළමු සැකකාරියගේ පුද්ගලික ගිණුමකට බැර කරගෙන තිබෙන බව විමර්ශනවලින් කරුණු අනාවරණය වී තිබෙනවා.”

 මුදල් ලබා ගැනීම තුළින් මෙම සැකකාර වෛද්‍යවරිය දූෂණ විරෝධී පනතේ 111 වගන්තිය සහ අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය යන වරද සිදු කර ඇති බවත් සැකකාරිය මෙම ක්‍රියාවලිය තුළින් පුද්ගලික වාසියක් අත් කරගෙන ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අවධාරණය කළා.

එමෙන්ම, සැකකාර වෛද්‍යවරිය විසින්  EVD සහ VP SHUNT යන උපකරණ භාවිත කරමින් මොළය  මැරුණු (brain death) රෝගීන්ද ශල්‍ය කර්මවලට ලක් කර ඇති බවද අල්ලස් කොමිසම පවසා තිබෙනවා.

එමෙන්ම, සැකකාර වෛද්‍යවරිය ඇයගේ වාට්ටුවට ඇතුළත් වන ශල්‍ය කර්ම අවශ්‍ය නොවන රෝගීන්ටද EVD සහ VP SHUNT වෙද්‍ය උපකරණ යොදාගෙන  ශල්‍ය කර්ම සිදු කර ඇති බවත් Brain Death තත්වයට පත්වූ රෝගීන්ව යන්ත්‍ර මඟින් හදවත ක්‍රියා කිරීමට සලස්වා ශල්‍ය කර්මවලට ලක් කර ඇති බවත් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළා.

එලෙස ශල්‍ය කර්මවලට ලක් කළ රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී රෝගියා මිය ගොස් දින 5ක් ගතව තිබියදී නැවතත් ශල්‍ය කර්මවලට ලක් කර ඇති බවත්, ඇතැම් රෝගීන්ගේ හිස් කබලේ කොටසක් නොමැති බවට කරුණු අනාවරණය වන බවත්, සැකකාර වෛද්‍යවරිය තමාට වාසි සලස්වා ගැනීම සඳහා හිතාමතා රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කර ඇති බවත් අල්ලස් කොමිසම අවධාරණය කර තිබෙනවා.

මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් අල්ලස් කොමිසම විසින් කිසිදු විමර්ශනයක් නොකරන බව පැවසූ අල්ලස් ක්මිසම සැකකාරියට ඇති දේශපාලන බලතල මත ක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවීමේ අවදානමක් පැවතීම හේතුවෙන්, සැකකාර වෛද්‍යවරිය ඇතුළු අනෙකුත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඊයේ දිනය වන විට පමණක් මෙම සිද්ධිය සම්බන්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාවට දුරකථන ඇමතුම් අනූ දෙකක් පමණ ලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් 200 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමටත් නියමිතව බවත්  සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් දෙදෙනෙකු දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් ඔවුන්ට ජීවිත තර්ජන තිබෙන බව දැනුම් දී ඇති බවත් අල්ලස් කොමිසම තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඒ අතර හිටපු අමාත්‍යවරයෙකු වන කොල්ලින් ආර්  සිල්වා මහතා සිල්වා මහතාගේ දියණියකුගේ පුතෙකුද සිටින බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

කකාර වෛද්‍යවරියගේ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි සියලු රෝගීන් ඊයේ දිනය වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත්, අදාළ වාට්ටුවට මේ වනවිට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නවතා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, සැකකරුවන් සම්බන්ධයෙන් හෙට දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය  අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී අදාල විනයම පියවර ගැනීමට කටයුතු කරන බවද දැනුම් දී තිබෙන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියා.

මේ අතර, පලමු සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඇයව  ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් සඳහන් කළේ, සිය සේවාදායිකාව පුද්ගලික වාසියක් ලබා ගැනීමේ අරමුණින් කිසිදු කටයුත්තක් නොකළ බවයි.

රෝහල් තුළට පිටතින් ඖෂධ ගැනීම සුවිශේෂි තත්ත්වයක් නොවන බවත්,  එය සාමාන්‍යයෙන් සිදුවෙන කටයුත්තක් බවත් එවැනි අවස්ථාවලදී ඒ ඒ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ රෝහලේ නොමැති අවස්ථාවලදී පිටින් ගෙන්වා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ උපකරණ නොවන බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

“රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නෙවෙයි. ඒ නිසා තමයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 වසරේ. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුවෙනවා. මගේ සේවාදායිකාව කිසිඳු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ,” 

“ රජයේ රෝහල් තුළින් පිටික් ඖෂධ ගැනීම සුවිශේෂි තත්ත්වයක් නොවේ. එය සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්, ජයවර්ධනපුර රෝහලේ ද ඒ ආකාරයේම යම් යම් අවස්ථාවලදී ඒ ඒ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ රෝහලේ නොමැති අවස්ථාවලදී පිටින් ගෙන්වා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. මෙතනදී සිදුවී ඇත්තේ ද එයයි. ඒ අනුව මගේ සේවාදායිකාව කිසිදු ආකාරයක පුද්ගලික වාසියක් ලබාගෙන නෑ. මැයව සුදුසු ඇප කොන්දේසි මත ඇප මත මුදා හරින ලෙස මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”

මේ අතර, නඩුවේ තුන්වෙනි සැකකරු වන රෝහල් වාට්ටුවේ ලිපිකරුවකු වශයෙන් කටයුතු කළ කේ.එල්. ඉන්දික වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ, සිය සේවාදායකයා සිදු කර ඇත්තේ, වැටුපට නියමිත රාජකාරිය පමනක් බවයි.

ස්වාමීනි සිරස මාධ්‍ය ජාලයේ විකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයකදී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි රෝහල්වල දැනට නොමැති අත්‍යවශ්‍ය ඖෂධ පිටින් ලබා ගැනීමට කිසිදු අවහිරතාවයක්, බාධාවක් නොමැති බව පවසා ඇති අතර එබැවින් මෙම ක්‍රියාවලිය නීති විරෝධී ක්‍රියාවලියක් නොවන බවත්, ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත්, කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය, විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ජූලි 08 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...