පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් තෝරා පත්කර ගැනීම සිදුකළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක මහතා
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා
ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, එලෙස තෝරාපත් කරගෙන තිබෙනවා.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පවත්වා තිබුණා.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදුකර තිබෙනවා.
එහිදී ඵම කාරක සභාවේ සභාපති ලෙස ගාමිණී රත්නායක මහතාගේ නම යෝජනා කර ස්ථිර කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මනෝජ් රාජපක්ෂ සහ අජිත් ගිහාන් යන මහත්වරුන් විසින්.
එහිදී වෙනත් කිසිදු නමක් යෝජනා වී නොතිබූ බව සඳහන් වනවා.
මේ අතර, පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ පළමු සභාවාරය පසුගිය 24 වනදා රැස් වූ අතර එහිදි සභාපතිධුරය සඳහා හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරනු ලැබුවා.
එමෙන්ම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වනදා පළමුවරට පාර්ලිමේතුවේදී රැස් වූ අතර, එහි සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන මහත්මීන් විසින් යෝජනා කර ස්ථිර කර තිබෙනවා.