ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
මෙහිදී ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, මේ සඳහා ඩොලර් 60ක මුදලක් අයකෙරෙන බවද කාර්යාංශ පවසනවා.
පළමු අදියරේදී මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක තානාපති සේවා සැපයෙන අංශ 15ක් සඳහා පමණක් වන බවද එම නීතිය 2025 ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන බවද කෝශල වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.
තවද මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වෘත්තීය කාණ්ඩයේ නොවන රැකියාවන් සඳහා වන අතර, වෘත්තීය රැකියාවන්ට අයත් වන්නේ කුමන රැකියා කාණ්ඩද යන වග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ලැයිස්තුගත කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
නමුත් අදාළ රටේ තානාපති කාර්යාලය මගින් සේවා ගිවිසුම සහතික කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම සඳහා, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී තම වෘත්තීයභාවය සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කිරීම හෝ තම විදේශ ගමන් බලපත්‍රයේ වෘත්තිය සඳහන්ව තිබීම අත්‍යවශ්‍ය වනවා.
ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රී ලාංකිකයන් විවිධ අතරමැදි පුද්ගලයන්ගේ අකටයුතුකම් හා වංචාවන්ට හසුවීම් වාර්තාවී ඇති බවත්, විගමනික ශ්‍රමිකයාට නිශ්චිත රැකියා ගිවිසුමක් සහිත, නිසි වැටුපකට, නිසි කාලයකදී ගිවිසුම අවසන් කර නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය මාර්ග සකසාදීම ජාතික කර්තව්‍යයක් වශයෙන් සළකා, රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13 සඳහා පමණක් 2025 ජූලි 1 දින සිට ක්‍රියාත්මක කළ ද එම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් රටවලද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කරනවා.