ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වනු ඇති.
ඔස්ට්‍රේලියානු රජය පසුගිය වසරේ සිය වීසා නීති දැඩි කිරීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කළ අතර 2025 වනවිට රටට පැමිණෙන සංක්‍රමණිකයින් ගණන සියයට 50කින් කප්පාදු කිරීමේ ඉලක්කයක් ස්ථාපනය කළා.
එහිදී ඔවුන්ගේ වැඩිම අවධානය යොමුව තිබුණේ ශිෂ්‍ය වීසා කප්පාදුව සම්බන්ධයෙන්.
ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳී සිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට මෙතෙක් ලබාදී තිබූ අවස්ථාව අත්හිටුවීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
එම නීතිය ක්‍රියාවට නැංවෙන්නේ ලබන ජූලි මස පළමුවැනිදා සිටයි.
එමෙන්ම තාවකාලික උපාධි වීසා මත රටේ රැඳීසිටින උපාධිධාරීන්ට නැවත වරක් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා වීසා අයදුම් කිරීමේ අවස්ථාව ද ඉන් අහිමි වනවා.
එරට අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට අනුව 2023 වසරේ ජූලි පළමුවනදා සිට මේ වසරේ ජුනි මස පළමුවනදා දක්වා කාලය තුළ පමණක් සංචාරක වීසා මත පැමිණ ශිෂ්‍ය වීසා අයදුම් කළ පිරිස 36,000 ඉක්මවන බව සඳහන්.
බලධාරීන්ට අනුව ඔස්ට්‍රේලියාවේ රැඳීසිටින තාවකාලික උපාධි වීසා හිමියන්, අඛණ්ඩව දෙවැනි වරටත් ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ ප්‍රවණතාව 2022/23 වසරවල සියයට 30කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙමගින් රටේ ශිෂ්‍ය වීසා ක්‍රියාවලිය අවතක්සේරු කෙරෙන බවත්, උසස් අධ්‍යාපනය ලැබීමේ සැබෑ පරමාර්ථයෙන් රටට පැමිණෙන සිසුන්ට අසාධාරණයක් සිදුවන බවත් ඔස්ට්‍රේලියානු රජය පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රට තුළ රැඳී සිටින කාලය දීර්ඝ කරගැනීමේ අවශ්‍යතාව මත පමණක් ලාභදායී පාඨමාලා හදාරමින් සිටින පිරිස රටෙන් බැහැරකිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.
උපාධිධාරීන් සිය කුසලතාවට සරිලන රැකියාවක් සොයාගෙන, ඒ යටතේ ස්ථිර නේවාසික වීසා ලබාගත යුතු බවද මෙමගින් අවධාරණය කෙරෙන අතර නැත්නම් ඔවුන් වහාම රටින් පිටව යායුතු බව ඔස්ට්‍රේලියානු රජයේ මතය වනවා.
එමෙන්ම තාවකාලික උපාධි වීසා යටතේ උපාධියෙන් පසුව රැකියාවක් කිරීමට ලබාදෙන කාලය අවම කිරීමටත්, අයදුම් කළ හැකි වයස් සීමාව වයස අවුරුදු 50 සිට 35 දක්වා පහත දැමීමත්, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම ඉහළ දැමීමටත් රජය මීට පෙර කටයුතු කළා.