සෑම ජනපති කෙනෙක් යටතේම ජනපති අරමුදල භාවිත කිරීමට අදාළ පුද්ගල නම් අනාවරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පවසන්නේ තම පවුලේ අයෙකුට ජනාධිපති අරමුදල ලබාදී නොමැති බවත් කිසිදු අයෙකු එම අරමුදල ලබා නොගන්නා බවයි. මේ අතර නාම යෝජනා ලබා දීමේදී නියෝජනය කළ පක්ෂය වෙනුවට අපේක්ෂකයන් රැසක් මේ වනවිට පක්ෂ මාරු කර සිටින බැවින් පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීම හොඳ බවත් ඒ මහතා සඳහන් කළා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජාතික ජන බලවේගය යටතේ නාම යෝජනා ලබාදුන් බොහෝ දෙනෙකු ද මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් ඔවුන්ට පවතින නාම යෝජනා යටතේ පළාත් පාලන මැතිවරණයට යොමුවීම ගැටලුවක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :
“කුමන්ත්‍රණයක් මගින් 2022දී පො.ජ.පෙ. ආණ්ඩුව වැට්ටුවා. ඒ වට්ටපු වෙලාවේ ආර්ථිකය කඩා වැටෙන තැනට විදේශීය හා දේශීය බලවේග අපේ රට හැසිරෙව්වා. ඒ අවස්ථාවේ රනිල්ව අපි පත්කර ගත්තා. රනිල්ගේ වැඩපිළවෙළ අඩුවක් නැතුව ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව කරගෙන යනවා. අමාත්‍යවරයෙක් හෝ දේශපාලන සබඳතාවක් තිබෙන කෙනකුට ජනාධිපති අරමුදලෙන් මුදල් වියදම් කරනවා කියනවා වගේම මෙතෙක් කල් ජනපති අරමුදලින් උදව් කළ අනෙක් අයගේ නම්ද හෙළිකළ යුතුයි. ඒ අනුව අපිට බලන්න පුළුවන් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙලා තිබෙන කාරණය මොකක්ද කියලා. එසේ නොමැතිව අපිට එකපාරටම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බැහැ. සෑම ජනපති කෙනෙක් යටතේම ජනපති අරමුදල භාවිත කිරීමට අදාළ පුද්ගල නම් අනාවරණය කළ යුතුයි. එසේ නොමැතිව පුද්ගල නම් කිහිපයකට ලඝු කරලා මුළු අරමුදලේම භාවිතය ඒ හා සමාන යයි කීම වැරැදියි. අපේ පවුලේ කාටවත් මේක දීලා නැහැ. අපි ගන්නෙත් නැහැ.
මේ අවස්ථාවේ එක් එක් පක්ෂ එක් එක් පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒක හොඳ දෙයක්. අපි ප්‍රාදේශීය සභා මැතිවරණයට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පොහොට්ටුව ලකුණින් අපි සියලු ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් වෙනවා. පළාත් සභා මැතිවරණයට තරග කරන්නත් අපි අපේක්ෂා කරන්නේ ඒ විදිහටයි. නාම යෝජනා නැවත කැඳවීමට එකඟයි. පක්ෂ නායක රැස්වීමේදී අපිත් ඒ යෝජනාව ඉදිරිපත් කළා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ බොහෝ අපේක්‍ෂකයෝ පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නවා. අනෙක් පක්ෂවලින් නාම යෝජනා දිපූ ගොඩක් අය පක්ෂ මාරු කරලා තියෙනවා.”