28.4 C
Colombo
Friday, April 26, 2024

දැන් ඇෆ්ගනිස්ථානයේ ඇත්තේ ආයුධවලින් නොව ඔළුවලින් කරන යුද්ධයක්

- Advertisement -

ඇප්ගනිස්තානු කාන්තා ජාලයේ නිර්මාතෘවරිය වන (Mahbooba Siraj) මහ්බූබා සිරාජ් දින කිහිපයකට පෙර ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් නැගූ ප්‍රශ්නයකට දුන් පිළිතුර උපුටා දක්වමින් මෙම සටහන ආරම්භ කරන්නෙමි. ඇගේ පිළිතුර හැගුම්බරය. රටේ අනාගතය පිළිබද තිබූ සිහින බිද වැටීම හේතුවෙන් කළකිරීම් සහගතය. එහෙත් පණිවිඩය ප්‍රබලය.

ප්‍රශ්නය – “ඔබට මේ මොහොතේ අමෙරිකාවටත්, නේටෝ රටවලටත්, ලෝක ප්‍රජාවටත් දෙන්නට ඇති පණිවිඩය කුමක්ද?

පිළිතුර ඔබලාට අපි දැන් කථා කරලා වැඩක් නැහැ. කථා කළයුතු කාලය දැන් ඉවරයි. අපි ඔබට කථා කළා. ඉල්ලිම් කළා. බැගෑපත් වුණා. ඒත් ඒ කිසිවක් ගැන තැකීමක් නැතිවයී ඔබලා තීන්දු ගත්තේ.

අපි අමාරුවෙන් ගොඩනගපු සියළු දෑ ඔබලා එක මොහොතකින්, එක තීරණයකින් විනාශ කර දැම්මා. මේ එක තීරණයකින් ඔබලා ඇප්ගනිස්තානය තවත් වසර දෙසීයකට ආපස්සට හරවලා තියෙනවා. අද ඉන්න පරම්පරාවේ පමණක් නොව ඉදිරි පරම්පරා කිහිපයකත් අනාගතය ඔබලා විනාශ කර තිබෙනවා.

දැන් ඔබලාට මොනවාද ඔවුන්ට කියන්නට තියෙන්නේ? ඔබලා ලැජ්ජා විය යුතුයී, ඔබලා ඇප්ගනිස්තානයට කර ඇති දේ ගැන.ඔබලා අපේ කළාපයේ රටවලට කර ඇති දේ ගැන. ඇයී ඔබලා අපට මෙහෙම කරන්නේ ? මට තේරුම් ගන්නට බැහැ, ඔබලා අපේ රටවලට කරන විනාශය.

ඇප්ගනිස්ථානය තුළ අවි ආයුධවලින් කළ යුද්ධය දැන් නිමවී ඇත. දැන් උදාවී ඇත්තේ ඒ වෙනුවට ඇප්ගනිස්ථානය මුල්කරගත් ඔලුවලින් සිදු කරන ජාත්‍යන්තර තලයේ යුද්ධයකි.මෙම ඔළුවලින් සිදුකරන යුද්ධය ඇප්ගනිස්ථානයේ අනාගත ගමන් මග ඉලක්ක කරගත් යුද්ධයකී.

අපේ රටේ දේශපාලනයේදී මෙන්ම ලෝක දේශපාලනයේදීද අප දකින සත්‍යක් වන්නේ අද පසමිතුරන්ව සිටින බොහෝ අයවලුන්, හෙට දින සමීප මිතුරන් බවට පත්වීමයී.

කොමියුනිස්ට් රුසියාව සමග මාතෘභූමියේ නිදහස උදෙසා මහා අරගලයක් කළ ඇප්ගනිස්තානුවන්, එදා තම මිත්‍රයන් ලෙස විශ්වාස කළේ අමෙරිකාවයී.  එහෙත් අද රුසියාව තලේබාන් සංවිධානයේ මිත්‍රයන් බවට පත්ව සිටී. තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තිබීම අවලංගු කරන ලෙස අද රුසියාව ඉල්ලා සිටී. එමෙන්ම සුන්නි, ෂියා මතවාදී වෙනස්කම් හේතුවෙන් තලේබාන් කණ්ඩායම සමග ප්‍රශ්න තිබූ ඉරානය, අද තලේබාන් නව පාලනය හා මිත්‍රශීලීත්වයක් ඇතිකරගෙන තිබීම පෙනෙන්නට ඇත.

ජාත්‍යන්තර බල තරගය තුළ ලෝක බල කදවුරු හැලහැප්පීම්වල ගොදුරක් බවට දසක ගණනාවක් තිස්සේ  පත්ව තිබූ ඇප්ගනිස්ථානය වෙත අද මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත.

සෝවියට් දේශයේ බල ආධිපත්‍යට යටත්ව තිබූ යුගයේදී ඇප්ගනිස්තානය පාලනය වූයේ සෝවියට් දේශයට අවනත රූකඩ රජයක් විසිනී. අනතුරුව මාතෘභූමියේ නිදහස් අරගලය ජයග්‍රහණය කිරීමෙන් පසු සෝවියට් දේශයට අවනත පාලකයන්ට රට අත්හැර යාමට සිදු විය.ඇතැම් මාධ්‍ය දැන්  ඇප්ගනිස්තානය “ අධිරාජ්‍යවාදීත්වයේ සොහොන්බිම ” ලෙස හදුන්වා ඇත.

ඇප්ගනිස්තානය ඉන් අනතුරුව තම අනසකට යටත් කරගත් ඇමෙරිකාව තමන්ට අවනත පාලනයක් පිහිටුවා ගත්තේය.දසක දෙකක අරගලයකින් පසුව දැන් අමෙරිකානු හමුදාවට මෙන්ම ඔවුන්ට අවනතව සිටි පාලකයන්ටද අප්ගනිස්තානය අතහැර යාමට සිදුව ඇත.

ලොව සුපිරි බලවේග නිදහස් අරගල වලදී පරාජය ලැබ, ඒ රටවල් අත්හැර යනවිට දකින දර්ශනයන් අපි අපේ ශිෂ්‍ය අවදියේදී වියට්නාමය තුළින් දුටුවෙමු. එමෙන්ම අපි එදා සෝවියට් දේශය ඇප්ගනිස්තානය හැරයන විට දුටු අයුරින්ම, අදද එවැනි දර්ශන දකිමින් සිටින්නෙමු.

අද ඇප්ගනිස්තානයේ බලය අත්පත්කරගෙන සිටින තලේබාන් කණ්ඩායම තුළින් මුල් අවධියේදී අප දුටු අන්තවාදී සහ අනම්‍ය වූ හැසිරීමට වඩා වෙනස් හැසිරීමක්, ජාත්‍යන්තරය සමග ඔවුන් දැන් ගණුදෙනු කරන්නට පටන්ගෙන ඇති ආකාරය තුළින් ප්‍රදර්ශනය වීම දැකිය හැකි නමුදු, එහි නියම තත්වය තහවුරු කරගත හැකිවන්නේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියා පිළිවෙත් සහ හැසිරීම් තුලිනි.

තලේබාන් කණ්ඩායම සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන හෙයින් ඉරානය සමග ගැටුම් ඇතිවනු ඇතැයී ඇතැම් මාධ්‍ය අනාවැකි පළකර සිටියද, ඊට වෙනස් තත්වයක් දැන් දකින්නට ඇත. ෂියා ජනකොටස්වල ආධිපත්‍ය පවතින  උතුරු ඇප්ගනිස්තානු ප්‍රදේශවල නායකයන්ගේ සහයෝගය ලබා ගැන්මට තලේබාන් කණ්ඩායම දැන් සමත් වී ඇති බව මාධ්‍යවල සදහන් වේ.

අනෙක් අතින් චීනය සමගද ගැටුම් ඇතිවේ යැයී ඇතැම් මාධ්‍ය අනාවැකි පළ කෙරුවද, චීන නායකයන් තලේබාන් නියෝජිතයන්ව චීනයට ඇරයුම් කර යහපත් අවබෝධයක් ඇතිකරගෙන ඇති බව, චීනය අද උදාවී ඇති තත්වයට දක්වා ඇති ප්‍රතිචාරවලින් පැහැදිලි වේ.

යම් යම් වෙනස්කම් ගැන ප්‍රවෘත්ති  තිබුණද, පකිස්ථානය දැන් ඇප්ගනිස්තානු නව පාලනය සමග, තමන් අතර තිබූ අනවබෝධයන් නැතිකරගෙන යහපත් අවබෝධයකට පැමිණ ඇති බව, පකිස්ථානූ නායකයන්ගේ කථාබහ අපට පෙන්නුම් කරයී.

ඉන්දියානු සාධකයද මෙහිදී වැදගත්ය. කාබූල් අගනුවරට තලේබාන් කාණ්ඩ ඇතුළත්වීමට පෙරදින තලේබාන් ප්‍රකාශක සුහෙයිල් ෂහීන් “ඉන්දියාව ඇප්ගනිස්තාන ජනතාව වෙනුවෙන් ගත් සියළු උත්සාහයන් සහ කළ සියළු දෑ අපි අගය කරන්නෙමු.” යන්න පවසා තිබුණේය. 

මේ සියල්ල තුළින් අපට පැහැදිලිව දැකගත හැක්කේ ජාත්‍යන්තර තලය තුළ අවි ආයුධවලින් කරන යුද්ධයකට වඩා ඔළුවලින් කරමින් සිටින යුද්ධයකී.

ලෝකය පුරා විවිධ රටවල පවතින විවිධ අනන්‍යතාවන්, විශ්වාසයන්, වටිනාකම්, සාරධර්ම, ඇදහීම් සැලකිල්ලට නොගෙන, මුළු ලොවම එකම සංස්කෘතික රටාවකට, එකම සමාජ සහ ආර්ථික ක්‍රමයකට නතු කිරීමේ අධිපතිවාදී සිතුම් පැතුම් ඒ අයුරින්ම ක්‍රියාවට නැගීම, අද යුගයේදී සිතන තරම් පහසු නොවන බව ලොවට දෙවතාවක්ම පෙන්වූ ස්ථානයකී ඇප්ගනිස්තානය. තම සිතුම් පැතුම් වෙනත් සමාජයන් වෙත බලයෙන් පැටවීමට උත්සාහ කිරීම අද යුගය ට නොගැලපෙන දෙයක් බව අමෙරිකාව, රුසියාව, චීනය මෙන්ම තලේබාන් සංවිධානයද තේරුම්ගත යුතුව ඇත .

කාන්තාවන්ට අධ්‍යාපනය සදහා සීමා පනවමින් සහ වෙනස් මත නොඉවසමින් කටයුතු කළ ආකාරය ශිෂ්ඨ ලෝකයකකට අනුමත කළ හැකි තතවයක් නොවිණ.ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය ආරම්භකරනු ලැබුවේ ඉස්ලාමීය රටක් වන මොරොක්කෝවේදී කාන්තාවක් විසින් බව මෙම කොටස් තේරුම්ගත යුතුව ඇත. විවිධත්වය සමග ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයකට සහ හැසිරීමකට යාමට කුමන මට්ටමේ බලවතෙකු වුවද නම්‍යශීලී විය යුතුව ඇත.

ලොව බල තරගය තුළ සුපිරි බලවේග තමන්ගේ මතවාද හා ස්ථාවරයන් සාධාරණීකරණය කරමින් ලෝක ජනමතයට බලපෑම් කිරීමට ශක්තිමත් ජාලයන් ගොඩනගාගෙන කරන මෙහෙයුම් අපි ඉතිහාසය පුරා දකින්නෙමු. සෝවියට් කදවුර ශක්තිමත්ව සිටි අවධියේදී ඔවුන් වෙනුවෙන් ප්‍රබල ජාලයන් ලොව පුරා මෙහෙයුම් කරමින් සිටියහ. දැන් බටහිර වෙනුවෙන් එවැනිම ප්‍රබල ජාලයන් ලොව පුරා සිවිල් සමාජයන් තුළ මෙහෙයුම් කරමින් සිටියී. මේ සියළු කඩතුරාවන් ඉරා දමා යථාර්තය වටහා ගැන්ම ජනතාවගේ වගකීම වේ.

ඇප්ගනිස්තානයේ නිදහස සදහා සුපිරි බලවතුන් සමග කළ අරගලයන් දෙකේදී විවිධ මතධාරී, කණ්ඩායම් ඊට එක්ව සිටියහ. සෝවියට් කදවුර පරාජය කළ පසු බළධාරීන් ලෙස මතු වූයේ තලේබාන් කණ්ඩායමයී. සෝවියට් ආධිපත්‍ය බිදවැටීමෙන් පසු එම නිසා තලේබාන් කණ්ඩායම තම සිතුම් පැතුම්වල අන්‍යමව සිටිමින් කළ අන්තවාදී හැසිරීම් සහිත පාලනයක් ගැන සෑම අතින්ම චෝදනා එල්ල විණ.

එහෙත් දැන් ඔවුන් ෂියා නායකයන් සමගින්ද, ඉරානය සමගින් ද, චීනය සමගින්ද, රුසියාව සමගින්ද, පකිස්ථානය සමගින්ද ගොඩනගාගෙන ඇති බව පෙනෙන යහපත් අවබෝධය අපට පෙන්නුම් කරනුයේ, කලින් යුගයේ වැරදිවලින් ඔවුන් පාඩම් ලබමින් යම් පරිණත බවකට පැමිණ සිටීමද යන්න විනිශ්චය කළ හැකිවන්නේ, ඔවුන් ඉදිරියේදී අනුගමනය කරන ක්‍රියා පිලිවෙත් තුලින්මය.

කෙසේ වෙතත් මේ සියළු පාර්ශවයන් තේරුම් ගතයුතු යථාර්තයන් කිහිපයක් ඇත. ලොව සෑම සමාජයකටම ආවේණික අනන්‍යතාවයන්, ඇදහිලි, විශ්වාසයන්, සංස්කෘතීන්, සාරධර්ම පවතී. ඒ විවිධත්වයන් තේරුම් ගන්නා වූ, ඒවාට ගරු කරන්නාවූ, ඒවාට අවකාශ සලසන්නාවූ ඒ විවිධත්වයන් සමග සංහිදියාවෙන් යුතුව ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී ලෝක රටාවකට අපි හැඩගැසිය යුතුව ඇත්තෙමු. ඉඩදිය යුතුව ඇත්තෙමු. කිසිදු සමාජයකට සෙසු ලෝකයාගෙන් වෙන් වී හුදෙකලාව ගමනක් යා නොහැකිය. එකිනෙකාට ගරුකරන, නම්‍යශීලී හැසිරීම් තුලින් පමණී, සංහිදියාව පවතින ලොවකට මං විවර කරගත හැක්කේ

මෙවැනි අර්බුධකාරී ජාත්‍යන්තර වටපිටාවක් තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති ජාත්‍යන්තර වාතාවරණයක් ඇති කරගැන්මට නායකත්වය දිය යුතු සහ දිය හැකි බලවේගය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයී. බලය, ශක්තිය ඉදිරියේ නොනැමී, විවිධත්වය තේරුම් ගන්නාවූ, විවිධත්වයට ගරු කරන්නාවූ, සංහිදියාවෙන් යුක්ත ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක  පැවැත්ම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය අදීන, ශක්තිමත් සංවිධානයක් බවට පත්කර  ගැන්ම ලෝක ප්‍රජාවගේ පරම වගකීමයී.

– ඉම්තියාස් බාකීර් මාකාර් –
පාර්ලිමේන්තු මන්ත්‍රී

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...