26.7 C
Colombo
Saturday, June 14, 2025

අපේ කරුණාරත්න සර්

- Advertisement -

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝත් අම්පිටියේ රාහුල ලොකු ස්වාමීන් වහන්සේත් දෙනම මහරගම ධර්මායතනය හැටේ දශකය අවසාන භාගයේ ආරම්භ කලේ සිල්වත් ගුණවත් ධර්මධර භික්ෂු පරපුරක් තැනීම වගේම ගුණවත් ගිහි පරපුරක් හැදීමත් අරමුණු කරගෙනයි. ඊට සුදුසු භික්ෂුන් වහන්සේ අලුතෙන් මහණ කරන්නට පුලුවන් උනත්, සිවු පසය සහ වෙනත් උදව් උපකාර සඳහා සුදුසු ගිහි පිරිසක් සොයා ගැනීම පහසු උනේ නැහැ. හැම ගිහි දායකයෙක් ම ප්‍රවේශමෙන් තෝරා ගත යුතු උනා.

උපතිස්ස කරුණාරත්න කියන තරුණ ව්‍යාපාරිකයා මේ දෙනමට මුණ ගැහෙන්නේ මේ අවදියේදී යි. ඒ 1973 විතර වකවානුවේ. එතුමාගේ උත්තුංග ගුණාංග සැනෙකින් වටහා ගන්නා උන්වහන්සේ සිරි වජිරඤාණ දහම් පාසලේ ආරම්භක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්නැයි එතුමාට ආරාධනා කරනවා. එතැන් පටන් මීට දවස් පහකට කලින් මියයන තෙක් එතුමාත් ධර්මායතනයත් අතර පැවැතියේ නොබිඳිය හැකි බැඳීමක්.

ඒ බැඳීම කොතරම් දීර්ඝ වීද යත් එතුමා අඛණ්ඩව අවුරුදු 53 ක් අපේ දහම් පාසලේ විවිධ තනතුරු දරමින් දැහැමි පරපුරක් ගොඩ නැගීමෙහිලා සිදුකළ නිහඬ මෙහෙය වචනයෙන් විස්තර කළ නොහැකිය. එතැනින් නොනැවතී ධර්මායතනයේ දායක සභාව වන ශාසන සේවක සමිතියේ සභාපතිත්වය අඛණ්ඩ වසර 22 ක් දරමින් කළ නිහඬ සේවාව ද අතිවිශිෂ්ටය.

මම මෙහිදී ‘නිහඬ මෙහෙය’ යන යෙදුම පාවිච්චි කළේ සැබැවින්ම එහි අරුතට කරුණාරත්න සර් වැඩි අගයක් එක් කළ නිසාවෙනි. එතුමා වැඩි කතා බහ ඇත්තෙකු නොවේ. නිතර මුවග රැඳුණු සිනහවත්, තියුණු බැල්මත් එතුමාගෙ කඩවසම් පෙනුමෙ විශේෂාංග විය. සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසී මුහුණ සිනහවෙන් සරසාගෙන උදේ පාන්දර දහම්පාසලට එන කරුණාරත්න සර් එදා අප කාටත් නෙතට රසඳුනක් ම විය.

උපතිස්ස කරුණාරත්න මහතා දහම් පාසලේ සිසු සිසුවියන්ගේ තොරතුරු නිතර සොයා බලමින් ඔවුන්ගෙ පෞද්ගලික දියුණුවට ද හැකි උපරිමයෙන් උපකාර කළ ගුරුතුමෙකි. සිය පිය උරුමයෙන් ආ මරදානේ ගාමිණී ෆර්නිචර් පැලස් ව්‍යාපාරයේ ආදායමෙන් වැඩි කොටසක් වෙන් වුනේ මේ උදව් පදව් කිරීම් සහ පිංකම් කටයුතුවලට මය. මට එතුමා පෞද්ගලිකව කර ඇති එවන් උපකාර ලැයිස්තුවක් පිළියෙල කරන්නට පුලුවන.

“රංග මොකෝ මේ දවස්වල ටිකක් බර කල්පනාවක වගේ?” එතුමා දවසක් මා නිරීක්ෂණය කළේය. මා ඒ උසස් පෙළ කරන කාලයයි. මා ඒ වෙනකොට පොඩි පොඩි කණ්ඩායම්වලට ටියුෂන් පංති පැවැත්වූයෙමි.

“ගෙදර ඉස්සරහ කාමරේ පොඩි පංතියක් පටන් ගන්න කියලා කල්පනා කරනවා සර්.”

“ආ ඒක හොඳ අදහසක්. ඔය තැන් තැන්වල ගිහිං කළා මදෑ. ගෙදර පොඩියට පටන් ගන්න. මොනවාද අඩු පාඩු?” එතුමා නිකමට මෙන් ඇසුවේය.

“ලබන සතියේ ඩෙස් බංකු ටිකක් හදාගෙන ලබන මාසෙම පටන් ගන්නවා,” මම කීවෙමි.

“බොහොම හොඳයි. එහෙම තමයි දියුණු වෙන්න ඕනෙ.” කරුණාරත්න සර් කිව්වේ එපමණකි. දවස් දෙක තුනකට පස්සෙ හවසක ලොරියක් අපේ ගේ ඉදිරිපිට නැවැත්විණි. අගේට හදා නිම කළ ඩෙස් බංකු ජෝඩු පහක් ඉන් පිටතට බෑවිණි.

“කරුණාරත්න මහත්තයා ඔබතුමාට මේ ටික දෙන්න කිව්වා,” කී සේවකයො දෙන්නෙක් ඩෙස් බංකු ගෙදරින් දමා පිටත්ව ගියහ. මා හනික කරුණාරත්න සර් ඇමතුවෙමි. “අනේ සර් මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ.”

“ඒක හොඳයි බලාපොරොත්තු වෙච්චි නැති එක. දැන් ඔක්කොම හරිනෙ. ලබන සතියේ ඉඳන් පංති පටන් ගන්න. දැනුම දෙන ගමන් ම ළමයින්ට ගුණ දහමත් කියා දෙන්න. සම්පූර්ණ මිනිහෙක් හැදෙන්නෙ එතකොටයි.” දශක තුනකටත් එපිට දී කරුණාරත්න සර් මට දුන් අවවාදය තවමත් දෝංකාර දෙයි.

මිහිපිට දෙවිවරුන් යැයි කියන්නේ මෙවැනි චරිතවලටය. දෙව්ලොව සුරවිමන් ඔහු එනතෙක් බලා සිටි බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැන් ඒවා පරිවාර සේනාව ද සමග අතුරු සිදුරු නැතිව පිරී ඇති. එතුමා එහෙ අයටත් නොමසුරුව උදව් පදව් කරනවා ඇති. ධර්මය කියා දෙනවා ඇති. සාදු…! සාදු….!

ආචාර්ය රංග කලන්සූරිය
මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ආදි ශිෂ්‍ය
රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...