29 C
Colombo
Tuesday, October 4, 2022

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් බලය හමුවේ ලෝකයට තර්ජනයක් වන පාකිස්තානය

- Advertisement -

දෝහා සාකච්ඡාවලදී පෙන්වූ ව්‍යාජ ප්‍රතිරූපය ඉක්මවා තලේබාන් සංවිධානයේ සැබෑ ප්‍රතිරූපය මේ වනවිට ක්‍රමයෙන් ඉස්මතු වෙමින් තිබෙනවා. තලේබාන් පාලනයේ මුල් අවධියේ පැවති අමානුෂික දඩුවම් ක්‍රම යළි ක්‍රියාත්මක කරන බවට ජ්‍යේෂ්ඨ තලේබාන් නායකයින් එළිපිටම ප්‍රකාශ කර ඇති අතර කාන්තාවන්ගේ රැකියාවක නිරත නිරතවීමේ අයිතිය සහ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය මත අඳුරු වලා පටලයක් කෙමෙන් වර්ධනය වෙමින් පවතිනවා.

හාස්‍යයට කරුණ නම් තලේබාන් සංවිධානයේ සැබෑ ප්‍රතිරූපය එලෙස ඉස්මතු වෙද්දී ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් අත්කර දීම සඳහා පාකිස්තානය මහත් උනන්දුවකින් කටයුතු කිරීමයි. තලේබාන් සංවිධානයට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම ලබා දීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නැයි පාකිස්තාන විදේශ අමාත්‍ය මෙහෙමුද් කුරේෂි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ජගත් ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද අවස්ථා කීපයකදීම සම්මුඛ සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් අදහස් කළා.

පාකිස්ථානයේ විසින් ඇෆ්ගනිස්ථානය සුරතල් කරමින් රැඩිකල් මතවාදීන් පෝෂණය කරන පසුබිමක ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ඉස්ලාම් අන්තවාදීන් අතට පත්වනු ඇතැයි යන බිය ලොව පුරා පැතිරෙමින් තිබෙනවා. මේ පිළිබඳ නව කතාබහක් කරලියට පැමිණෙන්නේ “ද වොෂින්ටන් පොස්ට්” වෙත ඇමරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් ආර්. බෝල්ටන් පසුගියදා සැපයූ ලිපියක් සමගින්.

“තලේබාන් හිතවාදී, න්‍යෂ්ටිකව සන්නද්ධ පාකිස්තානය ගැන අවවාද කළ යුතු කාලය අවසන්” යනුවෙන් නම් කර තිබූ එම ලිපිය මගින් අමෙරිකානු හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක ජෝන් ආර් බෝල්ටන් පවසන්නේ පාකිස්තානය න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ඔවුන් තලේබාන් සංවිධානය සමග පවත්වන සමීප හිතමිතුරුකම සැලකීමේදී ඇමරිකාවට තවදුරටත් පාකිස්තානය කෙරෙහි මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකි තත්ත්වයක් නොමැති බවයි.

බෝල්ටන් අන්තර් බුද්ධි සේවාවන් විස්තර කරන්නේ පාකිස්තාන හමුදාව තුළ තුල පහළ සිට ඉහළට දිගු කාලයක් තිස්සේ පැතිර තිබූ රැඩිකල්වාදයේ තෝතැන්නක් ලෙසයි. ඉම්රාන් ඛාන් යනු මීට පෙර තේරී පත්වූ බොහෝ නායකයින් මෙන්ම තවත් එක් ලස්සන මුහුණක් පමණක් බව ඔහු පෙන්වා දෙනවා. ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් 2001 දී තලේබාන් සංවිධානය බලයෙන් පහකළ අවස්ථාවේ අන්තර් බුද්ධි සේවාවන් පාකිස්ථානය තුළ ඔවුන්ට රැකවරණය, ආයුධ සහ වෙනත් පහසුකම් සැපයූ බවත් සිය කලාපීය ප්‍රතිමල්ලවයා වන ඉන්දියාවට එරෙහිව ක්‍රියාත්මක වීමට පකිස්තානය ත්‍රස්ත සංවිධාන වලට ඉඩ ලබා දුන් බවත් ජෝන් බෝල්ටන් අනාවරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් අත්පත් කර ගැනීම පාකිස්තානයේ සිටින රැඩිකල් මූලධර්මවාදීන්ට උල්පන්දම් දීමක් බවයි. පාකිස්ථානයේ ඉස්ලාම් අන්තවාදීන් සිය බලපෑම ඉහළ නංවනු ඇති බවත් යම් අවස්ථාවක ඉස්ලාමාබාදයේ පූර්ණ පාලනය ඔවුන් අතටගැනීමේ තියුණු අවදානමක් ඇති බවත් බෝල්ටන් ගේ ලිපියේ දැක්වෙනවා. ඔහු පවසන ආකාරයට මෙවැනි සිදුවීමක් කලාපය අවුල් ජාලයකට ඇද දමනවා පමණක් නොව එය සමස්ත ලෝකයටම හිසරදයක් වනු ඇති.

ඉරානය සතුව න්‍යෂ්ටික අවි ඇතැයි යන අනුමානය පමණක් තිබියදී පාකිස්තානය සතුව 150කට වැඩිය න්‍යෂ්ටික අවි ප්‍රමාණයක් ඇති බව බෝල්ටන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඉස්ලාමාබාද් න්‍යෂ්ටික වැඩපිළිවෙළේ චීන කේන්ද්‍රිය භූමිකාව සැලකිල්ලට ගැනීමේදී අන්තවාදී පකිස්ථානයත් සතුව එවැනි ආයුධ පැවතීම ඉන්දියාව බරපතළ ලෙස අනතුරේ හෙලීමක් බව බෝල්ටන් ගේ අදහසයි. එපමණක් නොව පාකිස්ථානය සතු ආයුධ ලෝකයේ ඕනෑම තැනක පුරවා හැරිය හැකි ආකාරයට ත්‍රස්ත සංවිධාන අතර පත්වීම 9/11 ප්‍රහාරය හා සැසඳිය නොහැකි තරම් මාරාන්තික වනු ඇති බවද බෝල්ටන් “ද වොෂින්ටන් පෝස්ට්” වෙත ලියූ ලිපියේ දැක්වෙනවා.

සිය ලිපියේ දී බෝල්ටන් නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමග ගොඩනැගෙන අවස්ථාවන් පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ඔහු පවසන පරිදි සෝවියට් දේශයට එරෙහිව සීතල යුද්ධයේ සිට 9/11 දක්වා ඇෆ්ගනිස්තානයේදී ඇමෙරිකාවට පාකිස්තාන සහයෝගිතාව අත්‍යවශ්‍ය වුණා. ඒ නිසාම ඉස්ලාමාබාද් න්‍යෂ්ටික වැඩපිළිවෙළ හා ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්ති වලට එරෙහිව නැගුණු දැඩි විවේචන අඩපණ කිරීමට වොෂින්ටනයට සිදුවුණු බව ඔවුන්ගේ අදහසයි. කෙසේ වෙතත් කාබුල් බිඳවැටීමත් සමග ඇමරිකාවට පාකිස්තානයේ මත යැපීමට සිදු වන්නේ අවම වශයෙන් වන බැවින් න්‍යෂ්ටික බලසම්පන්න පාකිස්ථානයේ බරපතළ අවිනිශ්චිතභාවය සලකා, තලේබාන් ඇතුලූ ත්‍රස්ත සංවිධාන වලට තවදුරටත් සහය දක්වන්නේ නම් ඇමෙරිකාව සිය දැඩි විරෝධය පාකිස්ථානයට එල්ල කළ යුතුව ඇතැයි ඇමෙරිකානු හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයා පෙන්වා දෙනවා.

ඇමරිකාව විසින් ගත යුතු ක්ෂණික පියවරයන් කිහිපයක් ද ජෝන් බෝල්ටන් සිය ලිපියේ දක්වා තිබෙනවා. පාකිස්ථානයට ලබාදෙන ආධාර නතර කිරීම හා ප්‍රතිත්‍රස්ත සම්බාධක පැනවීම ඔහුගේ යෝජනා අතර වනවා.එමෙන්ම පාකිස්තානයේ නෂ්ටික අවි ගබඩා සහ නිෂ්පාදන පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරනවා. යම් හෙයකින් ත්‍රස්ත රෙජීමයක් ඉස්ලාමාබාද් හි පාලනය අත්පත් කරගෙන න්‍යෂ්ටික බලය ත්‍රස්තවාදීන් අතට පත් කිරීමට දරන ඕනෑම උත්සාහයක් මුළුමනින්ම ව්‍යාර්ථ කළ යුතුව ඇතැයි බෝල්ටන් සඳහන් කරනවා. එය පහසු කාර්යයක් වුවත් එම ආයුධ භාවිතා කිරීමට ඉඩ දීමේ විකල්පය ඊටත් වඩා භයානක බව බෝල්ටන්ගේ අදහසයි. ඉස්ලාමාබාද් හි න්‍යෂ්ටික වැඩපිළිවෙළට දිගුකාලීනව සහාය ලබා දෙන චීනය කිසියම් හෝ අවභාවිතාවක් සම්බන්ධයෙන් ද වගකිවයුතු බව පවසන බෝල්ටන් ඒ පිළිබඳ චීනයට අවධාරණය කළ යුතුව ඇතැයි පෙන්වා දෙනවා.

දකුණු ආසියානු කටයුතු පිළිබඳ විශේෂඥවරියක වන ඉතාලි මාධ්‍යවේදීනී ෆ්‍රැන්සිස්කා මරීනෝ බෝල්ටන්ගේ අදහස තවත් පියවරක් ඉදිරියට ගෙන යනවා. සැප්තැම්බර් 15 වැනි දා පළ වූ ලිපියකින් ඇය පෙන්වා දෙන්නේ පාකිස්ථානයේ “න්‍යෂ්ටික බොත්තම” දැනටමත් ත්‍රස්ත සංවිධානයන් අතට පත්ව ඇති බවයි.රට තුළ ත්‍රස්තවාදයට නිදහසේ වැඩෙන්නට ඉඩ දෙන ඉස්ලාමාබාදයේ ක්‍රියාකලාපය මතුකරමින් මරීනෝ පෙන්වා දෙන්නේ බටහිරට නොසලකා හැරිය නොහැකි තරමට ගැටලුව වර්ධනය වී ඇති බවයි.

ත්‍රස්තවාදීන්ට නොනවත්වා සහය දක්වන පකිස්තානය ත්‍රස්ත රාජ්‍යයක් ලෙස හඟවන ෆ්‍රැන්සිස්කා මරීනෝ පවසන්නේ එවැනි රාජ්‍යයක් තුළ න්‍යෂ්ටික වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ හැරීම ඕනෑම යුද්ධයකට වඩා දරුණු ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවයි.

මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුව ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගත් අතර එමගින් අවධාරණය කර ඇත්තේ දේශපාලන පිළිගැනීමක් ලබා දීම සඳහා වන කොන්දේසි තලේබාන් පාලනය මෙතෙක් සම්පූර්ණ කර නොමැති බවයි. එමෙන්ම පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ අත්පත් කරගත් සියලු ජයග්‍රහණයන් බිඳ දමමින් තිබෙන බවද එම යෝජනාවේ සඳහන්.

අදාළ යෝජනා මගින් යුරෝපීය විදේශ ක්‍රියාකාරකම් සේවාවට (EEAS) දැනුම් දී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය කෙරෙහි පාකිස්තාන නායකත්වය වගකිවයුතු බව දැනුවත් කරන ලෙසයි. එමෙන්ම තලේබාන් සංවිධානය කෙරෙහි පාකිස්ථානයේ බලපෑම ජීඑස්පී ප්ලස් සහනය අලුත් කිරීමේදී සැලකිල්ලට ගන්නා බවත් පවතින තත්වය සමාලෝචනය කරමින් දැනට ක්‍රියාත්මක ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව ඉවත් කළ යුතු දැයි තක්සේරු කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව සිය යෝජනාව මගින් ඉල්ලා තිබෙනවා. මෙම යෝජනාව තුළ සැඟවුණු අර්ථය නම් යුරෝපා සංගමය පාකිස්ථානයට සම්බාධක පැනවීම පිළිබඳ තර්ජනය කිරීමයි. අවශ්‍ය නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සැලකිල්ලට ගනිමින් යම් රටක් ඉලක්ක කරගත් සම්බාධක පැනවීමේ යාන්ත්‍රණයක් යුරෝපා සංගමය සතු බවද අදාළ යෝජනාවේ සඳහන්.

ඇෆ්ගනිස්තාන ගැටලුවේ හරය පාකිස්තානය බව ලොවම පිළිගනිමින් තිබෙනවා. වගකීම් විරහිත හා නොහික්මුණු පාකිස්තානයට එරෙහිව තීරණාත්මක හා දරුණු ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් බෝල්ටන් සහ මරීනෝ හෙළි කරන බිහිසුණු තත්ත්වය නුදුරේදීම සමස්ත ලෝක ප්‍රජාවම විනාශ කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

0
ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා...

අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් රනිල්ගෙන් තවත් ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...