29.7 C
Colombo
Thursday, April 25, 2024

චීන ආර්ථික කොරිඩෝව නිසා දරුණු වූ පාකිස්තාන ගංවතුර

- Advertisement -

මෑතකදී පකිස්ථානයට බලපෑ දරුණු ගංවතුරට හේතුව මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස බව විශේෂඥයින් පවසනවා.
ආන්තික කාලගුණය පිළිබඳ තත්‍ය කාලීන අධ්‍යයනයන් කරන ලොව පුරා සිටින බොහෝ ස්වේච්ඡා විද්‍යාඥයින්ගේ එකමුතුවක් වන The World Weather Attribution, පසුගියදා ඔවුන්ගේ වාර්තාව නිකුත් කළා.
එක් අවස්ථාවකදී රටෙන් තුනෙන් එකක් ජලයෙන් යටවී, මිලියන 33 ක ජනතාවකට බලපෑ මෙම ගංවතුරෙන් 1500කට වැඩි පිරිසක් මිය ගිය අතර නිවාස මිලියනයකට වඩා විනාශ වුණා.

මෙතරම් ව්‍යසනකාරී ගංවතුරක් ඇති වීමට හේතුව ගෝලීය උණුසුම නොවන බව අධ්‍යයනය මඟින් හෙලිව තිබෙනවා.
අධ්‍යයනයට එක් වූ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණ විද්‍යාඥයෙකු වන ෆ්‍රෙඩ්රික් ඔටෝ පැවසුවේ මිනිසා විසින් ඇති කරන ලද “දේශගුණික විපර්යාස මෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

“පකිස්තානයේ අප දුටුවේ වසර ගණනාවක් තිස්සේ කාලගුණ අනාවැකි පුරෝකථනය කර ඇති දෙයයි … එය මානවයා වායුගෝලයට හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් විමෝචනය කිරීමට පටන් ගත් දා සිට කලාපයේ වර්ෂාපතනය අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වන පැරණි වාර්තාවලට අනුකූල වනවා,” ඇය පවසනවා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වූ හරිතාගාර වායු විමෝචනය වර්ෂාපතනයට හේතු වූ ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව ගණනය කිරීම දුෂ්කර වුවද ගෝලීය උණුසුම ඉහළ යෑම තුළ එහි බලපෑම පැහැදිලිව දක්නට ඇතැයි ඔටෝ පෙන්වා දෙනවා.
අධ්‍යයනයෙන් හෙළි වූයේ දරුණුතම බලපෑමට ලක් වූ සින්ද් සහ බලුචිස්තාන් පළාත්වල අගෝස්තු වර්ෂාපතනය – ස්පාඤ්ඤයේ වාර්ෂික වර්ෂාපතනයට ආසන්න එනම්, සාමාන්‍ය ප්‍රමාණය මෙන් හත් ගුණයක් වන බවයි.

සමස්ත රටේ වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා තුන් ගුණයක් ඉක්මවා තිබෙනවා.
විද්‍යාඥයන් 1961 දක්වා පමණ අතීත වර්ෂා පිළිබඳ වාර්තා පරීක්ෂා කළා පමණක් නොව, පසුගිය මාසයේ සිදු වූ දේ, ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු දහනය කිරීමෙන් තොර ලෝකයක් සමග සංසන්දනය කිරීමට පරිගණක අනුකරණයන් ද භාවිතා කළා.
එම සංසන්දනයේ වෙනස දේශගුණික විපර්යාසවල බලපෑම ලෙස සලකා මෙම අධ්‍යයනයේ අවසන් නිගමනයන්ට එළැඹ තිබෙනවා.
පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධන මධ්‍යස්ථානයේ දේශගුණ විද්‍යාඥයෙකු වන ෆාහාඩ් සයීඩ් පැවසුවේ, ලා නීනා ඇතුලු බොහෝ කරුණු මෙම මෝසම් කාලයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි වර්ෂාපතනයක් වාර්තා වීමට හේතු වූ බවයි.

ඉස්ලාමාබාද්හි දේශගුණ විශේෂඥයෙකු වන මුහම්මද් ඉර්ෆාන් තාරික් අල් ජසීරා වෙත පැවසුවේ මෙම අධ්‍යයනය “දේශගුණික විපර්යාස සහ අනුගමනය කරන සංවර්ධන ආකෘතිය අතර සම්බන්ධතා අවබෝධ කර ගැනීමට මග පෙන්වීමක්” බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වන තාරික් පැවසුවේ දේශගුණික අර්බුදය තීව්‍ර වන විට ස්වාභාවික විපත් නිතර නිතර හා ආන්තික වනු ඇති බවයි.
“අපි මෙය කලින් වාර්තා කළ අතර ඔබ පකිස්ථානයේ මේ වසරේ දිග හැරුණු සිදුවීම් දෙස බැලිය යුතුයි. අපට උෂ්ණ තරංග තිබුණා, අපට නියඟ තිබුණා, අපට ආන්තික මෝසම් තිබුණා. චක්‍රය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර දැන් සියල්ල විශාල ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙනවා, ”තාරික් පෙන්වා දෙනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ සතියේ ප්‍රකාශ කළේ පකිස්ථානයේ කාලගුණය ආශ්‍රිත ව්‍යසනයන් පසුගිය වසර 50 තුළ පස් ගුණයකින් වැඩි වී ඇති අතර සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 115 දෙනෙකු මිය යන බවයි.
මේ අතර අල් අරාබියා ප්‍රවෘත්ති සේවය වාර්තා කලේ සංවේදී කලාපවල ඉදිකිරීම් සිදුකරමින් “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” යටතේ ඇතිකරන ලද ව්‍යසනයේ ගොදුරක් බවට පාකිස්තානය පත්ව ඇති බවයි.
පකිස්ථානයේ මෙම දරුණු ගංවතුර ඇති වීමට බලපෑ මානව ක්‍රියාකාරකම් අතර ඇතැම් මාර්ග ඉදිකිරීමේදී ජනාවාස ප්‍රදේශවලට වඩා උසින් පිහිටීම නිසා වතුර බැස යාමට මාර්ගයක් නොමැතිව එම ජනාවාස විල් බවට පත්වන බව ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන අරිෆ් හසන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස්වල ද පසුගිය ගංවතුර සමයන්හිදී මෙම තත්ත්වය දැක ගන්නට ලැබුණා.
තවද, චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝ (CPEC) ව්‍යාපෘතිය ඉදිකිරීම, පාකිස්තානයේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කිහිපයක් හරහා දිවෙන බැවින් ග්ලැසියර දියවීම, නායයෑම්, දැවැන්ත වනාන්තර විනාශය සහ ගංගා අවහිර වීම් සඳහා හේතු වන බව අල් අරාබියා වාර්තා කරනවා.
සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පකිස්ථානයේ ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශවල මිලියන 2.5 කට වැඩි පිරිසක් බෝවන රෝගවලින් පීඩාවට පත්ව සිටිනවා.

පකිස්ථානයෙන් තුනෙන් එකක් යටවූ ව්‍යසනකාරී ගංවතුරෙන් පසු “දෙවන ව්‍යසනයක්: රෝග සහ මරණ රැල්ලක්” ඇතිවීමේ විභවය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී දැඩි අවධානමක් මතු කළා.
සෞඛ්‍යයට වන බලපෑම් පැහැදිලි කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සෞඛ්‍ය ආරක්ෂා කිරීමට සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස යෝජනා කළා.
යම් ලෙසකට උත්ප්‍රාසජනක වුවත් මෙම ගංවතුර “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” නිසා ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීම සඳහා පරිත්‍යාග ලබා ගැනීමට ද පාකිස්තාන රජයට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.
දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට පසුගිය ජුනි මාසයේ සිට පවතින මෝසම් වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පාකිස්තානයට සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක්.

විනාශකාරී ගංවතුර හේතුවෙන් ඇතිව තිබෙන මානුෂීය හදිසි අවස්ථා තත්ත්වය සලකා පාකිස්තානය ණය ආපසු ගෙවීම අත්හිටුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යෝජනා කරනවා.
එමගින් පාකිස්තාන රජයට ආපදා ප්‍රතිචාර මුල්‍යකරණයට වැඩි අවදානයක් යොමු කිරීමට හැකිවනු ඇති බවයි UNDP යේ අදහසයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට අධික ණය බරක් ඇති පාකිස්තානය මෙම ගංවතුර ඇති වීමට පෙර සිටම දරුණු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටියා.

ගංවතුර ව්‍යසනය ආර්ථික අර්බුදය තවදුරටත් විස්තාරණය කර ඇති අතර පාකිස්තානය මේ වනවිටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මූල්‍ය පහසුකමක් ලබා ගෙන සිටිනවා.
පාකිස්තානයේ ඇතිව තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවට ද පූර්වාදර්ශයකි.

ඉදිරියේ දී එළැඹෙන මෝසම් වැසි සමය මෙරට ගංවතුර ඇතුලු ස්වභාවික ආපදා ඉහළ යන කාලයක් වන අතර පාකිස්තානයට වඩා ආර්ථික අර්බුදය දරුණුය.

මේ මොහොතේ එය කලමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම තුල රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවන්නේ අතිශය ව්‍යසනයකට විය හැකියි.

RECENT ARTICLES - SINHALA

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...