ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අදාළ අවන්හල තීරණය කර ඇති බවට පුවතක් බී.බී.සී සිංහල පුවත් සේවය වාර්තා කරනවා.
පෙබරවාරි 24 වන සෙනසුරාදා Sarayka Lounge නමැති අවන්හලෙහි පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම සාදය “සුදු මුහුණු සහිත” සංචාරකයින්ට පමණක් වෙන්වූවක් බවට එහි සංවිධායකයින් විසින් ප්‍රචාරණය කර තිබීමත් සමඟ ඊට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වුණා.
මෙම සාදය සඳහා නිර්මාණය කරන ලද ප්‍රචාරණ දැන්වීමෙහි සාදයට සහභාගී විය හැකි පිරිස කවුරුන්ද යන්න දැක්වීම සඳහා Face control: White යනුවෙන් සඳහන් කර තිබීම මෙම විරෝධයට හේතු වී තිබෙනවා.
සුදු පැහැ පුද්ගලයින්ට පමණක් සහභාගී විය හැකි සාදයක් වශයෙන් එය හඳුන්වා තිබීම ඔස්සේ වර්ණ භේද වාදයට මඟ විවර වන අතරම එමඟින් දේශීය සංචාරකයින් නොසලකා හැරීමකට ලක් වන බවද පවසමින් ඊට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ විවේචන එල්ල වී තිබුණා.
කෙසේ වෙතත්, පෙබරවාරි 23 වන දා ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් Sarayka Lounge සඳහන් කර තිබුණේ, වහා ක්‍රියාත්මක වන පරිදි අදාළ සාදය නතර කිරීමට පියවර ගත් බවයි.
අදාළ දැන්වීම සම්බන්ධයෙන් එම ආයතනය සිය කණගාටුවද පළ කර තිබෙනවා.
එමෙන්ම, සිය අවන්හලෙහි විවිධ ඉසව් සඳහා සත්කාරකත්වය සපයන අතර, මෙය ද එවැනි ඉසව්වක් බවත් ජාතිවාදී ප්‍රකාශන හෝ සංවිධානවලට මීට පෙර හෝ ඉදිරියේදී හෝ සහය නොදෙන බවද එම ආයතනය පෙන්වා දෙනවා.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ, “අදාළ සාදය පැවැත්වීමට නියමිතව තිබූ අවන්හල සහ ප්‍රධාන සංවිධායකයින් රුසියානු පුරවැසියන් බව තහවුරු නොවන දත්තවලින් පෙනී යන,” බවයි.
රුසියානු රජය සියලු ම ආකාරයේ වාර්ගික නොසලකා හැරීම් හා ජාතිවාදය දැඩි සේ හෙළාදකින බවත්, කුමන ආකාරයේ වුව ද, එවැනි කෲරකම්වලට එරෙහිව කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වුණා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ නීතියට හා චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරන්නැයි රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.