27.8 C
Colombo
Thursday, April 25, 2024

ඉන්දියාවේ පංචායත් ක්‍රමයේ ආලෝකය ලැබ එන ලංකාවේ ජන සභා

- Advertisement -

පංචායත් පාලන තන්ත්‍රය යනු ඉන්දියාව විසින් හඳුන්වාදුන් ඇති විශිෂ්ඨ පළාත් පාලන තන්ත්‍රයක්. එය එක අතකින් බුදුන් දවස පුරාණ භාරතයේ ක්‍රියාත්මකවූ ලිච්ඡවී පාලන ක්‍රමයේ වර්ධනීය තත්වයක් බව පැවසීම අසත්‍යයක් නෙවෙයි. එහි අනෙක් අර්ථය වන්නේ තනි පාලකයෙක් වෙනුවට ජනතා නියෝජිතයන් රැසක් විසින් එක්රැස්ව ප්‍රජාතන්ත්‍රවාදීවගනු ලබන තීරණ මගින් සිය ප්‍රජාව පාලනය කිරීමයි. මේ නිසා භාරතයේ ලිච්ඡවී ‘ගණතන්ත්‍රය’ ලොව මෙතෙක් පැවැති වඩාත්ම සාධාරණ සහ ජනතා මතය නියෝජනය වන පාලන ක්‍රමයක් ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.

වර්තමාන පංචායත් ක්‍රමයත් එම සාධාරණත්වය මත පදනම්වූ සංකල්ප මනාව පිළිබිඹු කරගන්නක් බව නොරහසක්. විශේෂත්වය වන්නේ බිලියන 1.5ක අති විශාල ජනතාවක් වාසය කරන ඉන්දියාවේ සංකීර්ණ ග්‍රාමීය ජන පදනම් පාලනය කිරීම වෙනුවෙන් මෙම පංචායත් ක්‍රමවේදය භාවිත කිරීමයි. අප ඉන්දීය චිත්‍රපටවල ගසක් වටා රැස්ව ගම් ප්‍රධානින් විසින් යම් යම් තීන්දු තීරණ ගන්නා ආකාරය, මෙම පංචායත් පාලනය ක්‍රියාත්මක කෙරෙන ප්‍රාථමික අවස්ථාව වශයෙන් හඳුන්වා දීමට පුළුවන්.

‘පංචයාති රාජ්’ යනුවෙන් වර්තමානයේ හඳුන්වන මෙම පළාත් පාලන පද්ධතියේ අවශ්‍යතාව, 1947 වර්ෂයේ ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟ ඉන්දියාවට දැඩි සේ දැනී තිබුණා. බ්‍රිතාන්‍යයන් විසින් යම් පමණකට අවුල්කර දමා තිබුණු ග්‍රාමීය පාලන පද්ධතිය ස්ථාවර කිරීමට පංචයාති රාජ් ක්‍රමවේදය පැරණි ක්‍රමවේදයන්ගේ ප්‍රතිසංස්කරණයක් ලෙස හඳුන්වා දෙන්නේ ඒ අනුවයි. බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියාවේ ග්‍රාමීය ජනතාවට රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට තබා, කිසිදු හඬක් නැගීමට අවස්ථාව පැවතුණේ නැහැ. එහෙත් මහත්මා ගාන්ධිතුමන් විසින් පැවැති ග්‍රාමීය පාලන පද්ධතිය මුළුමනින්ම පාහේ වෙනස් කරමින් පංචයාති රාජ් ක්‍රමවේදය හඳුන්වාදිය යුතු බව අවධාරණය කරනු ලැබුවා. මෙම පාලන ක්‍රමය ඔස්සේ රටේ කටයුතු ග්‍රාමීය මට්ටමට විමධ්‍යගත කර, ග්‍රාමීය සංවර්ධනයේදී ජනතා සහයෝගය ලබා ගැනීමත්, ග්‍රාමීය පාලනය එම ගම්මානවල ජනතාවටම පැවරීමත් වඩාත් සුදුසු බව මහත්මා ගාන්ධිතුමාගේ අදහස වුණා.

ඒ අනුව 1957 වර්ෂයේ පංචායත් පාලනය වර්තමානයට ගැලපෙන අයුරින් සම්පාදනය කිරීමට බලවාන්ත් රායි කොමිසම පත්කෙරුණා. මෙම කොමිෂම විසින් 1958 වර්ෂයේ නිර්දේශ ඉදිරිපත් කරමින් පංචායත් ආයතන ව්‍යුහය ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදෙනු ලැබුවා. එම නිර්දේශයන්ට අනුකුලව ස්ථර තුනකින් යුත් පංචායති රාජ් පද්ධතියක් ස්ථාපනය කිරීමට පියවර ගැනුණා. එම පද්ධතියේ ස්ථර 03 වන්නේ ග්‍රාම පංචායත්,පංචායත් සමිති සහ දිස්ත්‍රික් පංචායත් සභා ය. ග්‍රාමීය මට්ටමේ මෙම පංචායත් පද්ධතියට අමතරව නගර පරිපාලනය සඳහාද විශේෂ පළාත් පාලන ආයතන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට එහිදී යෝජනා වුණා. අවසානයේ 1959 වර්ෂයේ සිට මෙම පළාත් පාලන ව්‍යුහය ස්ථිරව ඉන්දියාවේ ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණු අතර, අද වන විට ප්‍රාන්ත රාජ්‍ය කීපයක හැර අනෙකුත් සියලුම ප්‍රාන්තවල මෙම පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.

1997 වසරේ අනුමත කෙරුණු 73 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පංචායත් පාලන පද්ධතිය ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද ඇතුලත් කරනු ලැබුවා. එම සංශෝධනය මගින් කෘෂිකර්ම කටයුතු,ඉඩම් ඒකාබද්ධ කිරීම,සුළු වාරිමාර්ග,සත්ත්ව පාලනය,ධීවර කටයුතු සහ කුඩා ප්‍රමාණයේ කර්මාන්ත ඇතුළු ග්‍රාමීය මට්ටමේ විෂයන් රැසකම බලතල ග්‍රාමීය පංචායත් ආයතන වෙතම පවරාදීම කෙරුණා. විශේෂත්වය වන්නේ අද වන විට මෙම පංචායත් පාලන ව්‍යුහය මගින් මූල්‍ය පාලන කටයුතුද මනාව හසුරුවමින් ඇති විශාල ඉන්දියාවේ ග්‍රාමීය පාලනය නිසි ලෙස කළමනාකරණය කිරීමට සමත්ව තිබීමයි. සෘජු දේශපාලන මැදිහත්වීමකින් තොරව, මෙලෙස ග්‍රාමීය ව්‍යුහය නිසි ලෙස කළමනාකරණය වීම ඔස්සේ, ඉන්දීය මධ්‍යම රජයට සිය රට ලොව 05වන ආර්ථික බලවතා බවට පත්කිරීමේ ගමන පැමිණීමට විශාල අත්වැලක් ලබාදී තිබෙනවා.
සමස්ත ඉන්දීය පාලන තන්ත්‍රයට ප්‍රබල ආධාරකයක් වන පංචායත් සංකල්පය පිළිබඳව මෙලෙස සඳහන් කිරීමට හේතුවුයේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහද, මෙම ඉන්දියාවේ මුලධර්මයම පදනම් කරගත් ‘ජනසභා’ පාලන තන්ත්‍රයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනා කිරීමය.

පසුගිය ඔක්තෝබර් 06 වැනිදා පාර්ලිමේන්තුව අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදී ද හෙතෙම මේ ජන සභාව ගැන සඳහන් කළා. ඉන්පසු සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සිය ‘ජන සභා’ සංකල්පය ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබාගැනීමටත් කටයුතු කරනු ලැබුවා. පසුව අනාවරණය වූ ආකාරයට ඉන්දීය පංචායත් සංකල්පයට අනුව සැකසුනු මෙම ‘ජනසභා’ ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ හැකිනම් ඉතාම අපුරු පද්ධතියක් බව දැකගත හැකිවෙනවා. එය ඇත්තෙන්ම ශ්‍රී ලංකාව වැනි දූෂිත දේශපාලනයක් ඇති රටක ජනතාවගේ සිහින පාලනයක් සැබෑවීමක්‌.

මෙමගින් ඇත්තෙන්ම යෝජනාකර ඇත්තේ අතීත ගම් සභා ක්‍රමයට වඩා බොහෝ සෙයින් ඉදිරිගාමී ලක්ෂණ සහිතව ස්ථාපනය කළ යුතු, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නව ව්‍යුහයක්. ජනසභා ක්‍රියාත්මක වීමේදී ගම තුළ පුළුල් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කිරීමටත්, බිම් මට්ටමේ ජනතාවට රාජ්‍ය පාලනය තුළට ඇතුළුවීමට අවස්ථාව උදා කර දීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම පවතින පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදනයේදී මහජන අදහස්ද යොමුකෙරෙන මණ්ඩලයක් ලෙසද මෙම ජනසභා ක්‍රමය යෝජනාවී තිබෙනවා. බැලූ බැල්මටම ඉතාම අපූරුය. එහි අවසාන ඉලක්කය දියුණු සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත තිරසර රාජ්‍යයක්. පෙර කියූ ලෙස එය වත්මන් විවාහාපේක්ෂිත තරුණ පිරිස පවා, තමාට කෙසේ වෙතත්, තම දරුවන් වෙනුවෙන් හෝ ප්‍රර්ථනා කරන සිහින පාලන ක්‍රමයක්.

ග්‍රාම සේවා වසමක් තුළ ජීවත්වන ජනතාවට එක්ව තමන්ගේ ගමේ කටයුතු පිළිබඳව තීරණ ගැනීමට අවස්ථාව ලබාදෙන ග්‍රාමීය ජන සභාවක සිට, එහි අදහස් ‘මධ්‍යයේ’ රාජ්‍ය පාලනය දක්වා ගෙනයන ‘ජාතික මහජන සභාව’ නම්වූ ආයතනයක් දක්වා මෙම සංකල්පය ගමන් කරනවා. බිම් මට්ටමේදී සෑම ග්‍රාම සේවා වසමකටම එක් ග්‍රාමීය ජන සභාවක් බැගින් පිහිටුවීමට යෝජනා කෙරෙන අතර, ආසන්න වශයෙන් පවුල් 500කට එක ජන සභාවක් ස්ථාපන කිරීමට මෙමගින් අවස්ථාව ලබාදීමට යෝජනාවී තිබෙනවා. එවිට රට පුරා අවම වශයෙන් පිහිටුවන ග්‍රාමීය ජන සභා සංඛ්‍යාව 14,022ක්. ඒ අනුව රට පුරා ජනසභා නායකයන්ද, අවම තරමින් 14,022ක් බිහිවනු ඇති අතර, ඔවුන්ට සිය ගම්මානයේ ගනු ලබන තීරණ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) දක්වා ගෙනයෑමට අවස්ථාව හිමිවෙනවා.

මෙම ජනසභා සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීමට වෙරදරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසූරිය පවසන්නේ, ජනසභා යථාර්තයක් බවට පත්වීමට නම්, ඒවා දේශපාලනිකකරණයෙන් ගැලවී ගතයුතු බවය.
“ජනසභාව කිසිම ආකරයකින් දේශපාලනීකරණය වෙන්න බැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ මහත්මා ගාන්ධිතුමාගේ පන්චායත් ක්‍රමයට. ඒ වගේම ප්‍රේමදාස මහත්තයා ආරම්භ කළ ග්‍රාමෝදය වැඩසටහනෙනුත් යහපත් කොටස් අරගෙන තියෙනවා.දැන් අපේ මේ යෝජනාවට අනුව ගමේ පාලනයට ගමේ ජනතාව සහභාගී වෙනවා. සියලුම කටයුතු සිද්ධවෙන්නේ ස්වේච්ඡාවෙන්. රජයට බරක් නැහැ.”

ඇත්තෙන්ම ඉන්දියාව වැනි ලොව දැවැන්ත ආර්ථිකයක් ඇති රටකට පවා සිය අරමුණු කරා ගැන කිරීමේදී මෙම ග්‍රාම පාලන සංකල්පය ඉවහල් කරගැනීමය හැකිවූවා නම්, ශ්‍රී ලංකාවට එවැන්නක් යථාර්තයක් බවට පත්කර ගැනීම එතරම් අසීරු නැහැ. ඒ වෙනුවෙන් හුදෙක් අවශ්‍ය වන්නේ, මෙතෙක් නොපැවැති කැපවීමක් පමණයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...