නීති විරෝධී මත්පැන් සාදයක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා නිරෝධායනයට යොමු කරන ලෙස හා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගෙන් බී වාර්තාව හරහා ඉල්ලා සිටිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
කෙසේ වෙතත් ඔවුන් රුපියල් මිලියනයක ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කල බවට රූපවාහිනි වැඩසටහනකට සහභාගීවෙමින් අජිත් රෝහණ මහතා සඳහන් කළා.
අදාළ බී වාර්තාව තමන් විසින්ම සකසන ලද්දක් බවත් එමගින් ජයසිංහ ආරච්චිගේ චන්දිම නුවන් නොහොත් චන්දිමාල් ජයසිංහ යන අයව හා පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අයව නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට 2021.06.11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි ඔහු සදහන් කරන්නේ.
එමෙන්ම එම ස්ථානයේ සාදයට සහභාගී වූ පුද්ගලයින් 9 දෙනෙකු හදුනාගත් බවත් ඔවුන්ගේ නම් අදාළ බී වාර්තාවට ඇතුළත් කල බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ඒ අනුව පට්ටියගේ පියුමි හංසමාලි, මොහොට්ටිගේ දර්ශනී පුෂ්පමාලි, රත්නායක මුදියන්සේලාගේ රුක්මාල් බස්නායක, කුමාරලාගේ බාගේෂ්වරී මධුෂිකා ගුණසේකර, ඒ.ඩී. ප්‍රදීප් ලක්මාල් දේශප්‍රිය, ඩී.ලියනගේ චමාල් සුසන්ත, කංකානම්ගේ චතුරංග, එල්. කුමාරලාගේ දේවක හා යූ. තරිදු පැතුම් යන අයව මෙලෙස හදුනාගෙන තිබෙනවා.
පොලිස් වැටලීම සිදුවන අවස්ථාවේ එම පුද්ගලයින් එම ස්ථානයේ නොසිටි බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.


