ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා මී ගවයන් සහ එළදෙනුන් ලබා දීමට ඉන්දියාව සහ පකිස්ථානය සිය එකඟතාවය පළ කර තිබෙනවා.
අප රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින්ගෙන් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරී ප්‍රමාණය ලීටර් 10ක් පමණ වෙනවා.
නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් ගවයෙකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපතිතුමන් හා පකිස්ථාන මහකොමසාරිස්තුමන් සමඟ කළ සාකච්ඡාවල දී ඉන්දීය හා පාකිස්ථානු වැඩි දියුණු කළ එළ ගවයින් හා මී ගවයින් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා.
දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එහිදී එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙරට පකිස්ථානු මහ කොමසාරිස් Major General Faheem Ul Aziz මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කර තිබුණා.
එහිදී දැනට රටතුළ කිරි නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය සඳහන් කළ අමාත්‍යවරයා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත එරට ගවයින් මෙරටට ලබා දීම සඳහා එකඟත්වය පළ කළ බව සඳහන් කළා.
එමනිසා පකිස්ථානය ද මේ සම්බන්ධව සහයෝගය පළ කරනු ඇතැයි රජය වශයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසුවා.
අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීම සළකා බලමින් පකිස්ථාන රජය විසින් ද ශ්‍රී ලංකාවට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පාකිස්ථානු මහකොමසාරිස්වරයා සඳහන් කළා.
මෙම සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතයි.
මෙම ගවයින් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.
අපේ රටේ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන එළගවයින් හා මීගවයින් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමයි.
මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක වුණා.