හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
ඔහුට පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක විසින් දෙනියාය, පල්ලේගම ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසල දී පසුගිය 16 වැනි දින පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත පිහියකින් පහර දී තිබුණා.
මෙම පොලිස් නිලධාරියා උඩගොමඩිය, කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර, සැකකාර හිමි නමගේ වයස 20ක් පමණ වන සහෝදරියක සමඟ මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිස් මූලික විමර්ශන මඟින් අනාවරණය වී තිබෙනවා.
මෙම ප්‍රේම සම්බන්ධතාව නවතා දමන ලෙස හිමිනම විසින් පොලිස් නිලධාරියාට අවස්ථා කිහිපයක දී දැනුම්වත් කොට තිබූ නමුත් එම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන හිමිනමගේ සහෝදරියගේ නිවසට ඉකුත් 16 වැනි දින ගොස් සිටිය දී සැකකාර හිමිනම විසින් නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී තිබූ බවත් ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසල දී හමු වී ඇති බවත් වාර්තා වෙනවා.
පොලිසිය පවසන්නේ, ඒ අවස්ථාවේදී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසුව සැකකාර හිමිනම විසින් බෑගයේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇති බවයි.
පහරදීම සිදු කළ සැකකාර හිමිනම දෙනියාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, සැකකාර හිමිනම මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.