ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර කණ්ඩායමක් කටාන හෙල්පෙ ප්‍රදේශයේ පිහිටි අල් අබේදානී ඇඟලුම් කම්හලට පෙරේදා (30 දා) රාත්‍රි කඩා වැදී එහි කළමනාකර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ඕමාන් ජාතිකයාට සහ ආරක්‍ෂක නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී දේපොළ විනාශ කර පලා ගොස් තිබෙන බවට සඳහන් වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බඩල්ගම පොලිසිය මෙම දේශපාලනඥයාගේ මැර කල්ලියේ සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැර ප්‍රහාරයට ලක්වූ අල් අබේදානී කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඕමාන් ජාතික කෙල්පානී අලොබිදානී මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් ආරක්‍ෂක නිලධාරියා මීගමුව රෝහලටත් අතුළත් කළ බව සඳහන්.
විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම රාජ්‍ය ඇමැතිවරයාගේ ගෝලයකු පෙරේදා සවස කර්මාන්ත ශාලාව වෙත ගොස් රාජ්‍ය ඇමැතිවරයාගේ දැනුම් දීම මත තමන් පැමිණි බව දන්වා තිබෙනවා.
තමන්ට අයත් වෑන් රථයක් කර්මාන්ත ශාලාවේ කුලී පදනම මත දැමීමට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කර ඇති නමුත් එහිදී එම කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය දැනුම් දී ඇත්තේ මේ අවස්ථාවේ කුලී පදනම මත වාහන ලබාගැනීමට නොහැකි බවත් පසුව දැනුම් දීමක් කරන බවයි.
එහිදී කෝපයට පත්වූ රාජ්‍ය ඇමැතිගේ ගෝලබාලයන් පාලනාධිකාරියට බැන වැදී තර්ජනය කර පලාගොස් තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසු එදින රාත්‍රි 10.30 ට පමණ 5 දෙනෙකුගෙන් සමන්විත මැර කල්ලිය කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පදිංචි එම භූමියේ පිහිටි නිවස වෙත කඩා වැදීමට උත්සාහ කර ඇත.
ඒ වනවිට කර්මාන්ත ශාලාවේ ආරක්‍ෂාවට සිට ඇත්තේ එක් ආරක්‍ෂක නිලධාරියකු පමණි.
පොලු මුගුරු රැගෙන පැමිණි මැර පිරිස එහි ඇතුළු වීමට උත්සාහ කරද්දී ආරක්‍ෂක නිලධාරියා ඔවුන් පලවා හැරීමට සූදානම් වී තිබෙනවා.
ඒ අවස්ථාවේ මැර පිරිස ආරක්‍ෂක නිලධාරියාට පහර දී කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ නිවසට කඩා වැදී අධ්‍යක්‍ෂවරයාට පහර දී ඒ මහතාගේ නිවසේ තිබූ දේපොළ ද විනාශ කර නිවස ඉදිරිපිට නතර කර තිබූ ලොරියකට ද පහර දී පලා ගොස් තිබෙන බවට සඳහන් වෙනවා.
ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන මෙම කම්හල කටාන බඩල්ගම කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය ඕමානයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් එකකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕමාන් තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසා ඇති බවත් බඩල්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව සඳහන්.