මෙරට නායකයින්ගේ බොහෝ අනාගත ඉලක්කවලින් එකක් වන්නේ ඉන්දියානු සාගරයේ එහි උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ‘ආසියාවේ සමුද්‍ර හා නාවික මධ්‍යස්ථානය’ බවට පරිවර්තනය කිරීමයි.
ඒ සඳහා මෙරට පාලන තන්ත්‍රයට පත්වන නායකයින් අවස්ථා රැසකදී විවිධ ක්‍රියාමාර්ග ගත්තද ඒවා මේ දක්වා ඉටු වී ඇද්ද යන්න ගැටලු සහගත වනවා.
ආසියාවේ පමණක් නොව ලෝකයේම කාර්යබහුලම වරායක් වන කොළඹ වරාය පුළුල් කිරීම, හම්බන්තොට නිදහස් වරායක් ලෙස ක්‍රියාත්මක කිරීම, ත්‍රිකුණාමල වරාය,කන්කසන්තුරේ ඇතුළු අනෙකුත් වරායන් සංවර්ධනය කිරීම ඇතුළු බොහෝ පියවර මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා බලයට පත් වූ රජයන් විසින් මේ වන විටත් ගෙන තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්ක අතර කිලෝමීටර් 53ක් දිගින් යුක්තව පිහිටා ඇති පෝක් සමුද්‍ර සන්ධිය හරහායි.
සමුද්‍ර සන්ධියේ නොගැඹුරු බව නිසා විශාල යාත්‍රාවකට ඒ හරහා ගමන් කළ නොහැකි අතර එම නිසා සියලුම යාත්‍රා ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ වරායට ළඟා වීමට නම් ශ්‍රී ලංකාව වටා යා යුතු වනවා.
මෙය ශ්‍රී ලංකාවට සහ කොළඹ වරායට ආර්ථිකමය වශයෙන් අතිමහත් වාසියක් සැපයීමට රුකුලක් වී තිබෙනවා.
කොළඹ වරායේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම හරහායි.
කොළඹ වරාය බහාලුම් භාණ්ඩ මිලියන 5 කට අධික TEU සංඛ්‍යාවක් (අඩි විස්සකට සමාන ඒකකයක්) හසුරුවා ඇත.
ඒ සදහා එහි ක්‍රියාකාරී පර්යන්ත පහක් ස්ථාපිත කර තිබෙනවා.
එබැවින් කොළඹ වරාය සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ සමස්ත වරාය පහසුකම් වැඩිදියුණු කිරීම ඉන්දියාවට ද විශේෂයෙන් වාසිදායක වන කරුණක්.
මේ අතර, කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) සංවර්ධනය කිරීම සඳහා ජපානය සහ ඉන්දියාව සමඟ 2019 දී ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කළා.
කෙසේ වෙතත්, වෘත්තීය සමිති සහ අනෙකුත් ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හේතුවෙන්, 2021 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව ඉන්දියාව සහ ජපානය සමඟ පැවති එම ගනුදෙනුව අවලංගු කළ අතර එය එම රටවල් සමග සබඳතා පළුදු කිරීමට තුඩු දුන් කරුණක් වුණා.
ඉන් අනතුරුව, ECT සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) වෙතයි.
හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති පර්යන්තයේ දිග මීටර් 1320ක්.
සම්පුර්ණ වූ පසු, නැව් සිට ගොඩබිම දක්වා මෙහෙයුම් හසුරුවන STC දොඹකර 12 කින් සහ රේල් මවුන්ටඩ් ගැන්ට්‍රි (RMG) දොඹකර 40 කින් එය සමන්විත වන අතර ඉන් අනතුරුව අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට උරුම වනු ඇත.
කෙසේ වෙතත්, ගිවිසුමට ගරු නොකර එය අවලංගු කිරීමේ බලපෑම යම් පමණකට හෝ මැඩපවත්වා ගැනීමට දැරූ උත්සහයක් මෙන්, ශ්‍රී ලංකාව පසුව කොළඹ වරායේ , බටහිර බහාලුම් පර්යන්තය (WCT) අලුතින් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියාවට සහ ජපානයට ඉදිරිපත් කළ අතර එයට තරමක් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ ඉන්දියාවෙන් පමණයි.
ඒ අනුව, 2021 සැප්තැම්බර් 30 වන දින, ඉන්දියාවේ ගුජරාට් හි මූලස්ථානය පිහිට අදානි සමූහ ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගමක් වන John Keells Holdings සහ Sri Lanka Port Authority (SLPA) සමඟ එක්ව කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා මෙහෙයුම් හුවමාරු (BOT) ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.
කොළඹ වරාය පිළිබඳ වසර 35 ක මෙම BOT ගිවිසුමට අනුව අදානි සමූහ ව්‍යාපාරයට 51% ක් ද, John Keells හට 34% ක් ද, වරාය අධිකාරියට 15% කින් ද බහුතර කොටස් හිමි වනු ඇති.
කොළඹ වරායේ , බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමෙන් අදානි සමූහ ව්‍යාපාරයට කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය සුරක්ෂිත කළ හැකි නම්, කොළඹ ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාවෙන් විශාල කොටසක් ඉන්දියානු භාණ්ඩ බහාලුම්වලට හිමිවන බැවින් එය ඉතා වැදගත් වනු ඇති.
ඉන්දියාවේ වරායන් කිහිපයක් කළමනාකරණය කරන Adani Ports & SEZ Limited (APSEZ) ගුජරාටයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඉන්දියාවේ විශාලතම පුද්ගලික වරාය වන මුන්ද්‍රා වරායේ දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.
මේ අතර, මේ වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ යාපනයේ කන්කසන්තුරේ (KKS) වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බවයි.
වරාය සංවර්ධනය අවසන් වූ පසු, ඉන්දියාවේ සිට කන්කසන්තුරේ KKS වරායට ඇති දුර ඉන්දියාව සහ කොළඹ අතර ඇති දුර ප්‍රමාණයට වඩා අඩු බැවින් ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය දක්වා සෘජු භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙමගින් ප්‍රවාහන වියදම් ද ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, කරදරයකින් තොරව කන්කසන්තුරේ වෙත ආහාර සහ පොහොර ඉන්දියාවෙන් ගෙන ඒමට ද ඉඩ සැලසෙනු ඇති.
කන්කසන්තුරේ වරාය පුනරුත්ථාපනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් (MoU) සහ ජූලි 21 වන දින ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, ව්‍යාපෘතියේ සුන්බුන් ඉවත් කිරීම සහ ගලවා ගැනීමේ කොටසෙහි වැඩ ආරම්භ කෙරුණා.
සංවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ කන්කසන්තුරේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා පූර්ණ අරමුදල් සහිත ව්‍යාපෘතියක් ලෙස ඉන්දියාව ඩොලර් මිලියන 19 ක් වෙන් කර ඇති බවයි.
මෙම වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාව ද ත්‍රිකුණාමලය “කාර්මික වරායක්” ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඉක්මනින් ටෙන්ඩර් ඉදිරිපත් කරන බවත් නිවේදනය කෙරුණා.
දැනටමත් ත්‍රිකුණාමලයේ සැලකිය යුතු ආයෝජනයක් කර ඇති ඉන්දියාව, වාණිජ ව්‍යාපෘතියක් ලෙසත් උපායමාර්ගික ආයෝජනයක් ලෙසත් මෙම යෝජනාව ගැන උනන්දු වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ත්‍රිකුණාමල වරායේ ඉදිකළ දැවැන්ත තෙල් ගබඩා ටැංකි සංකීර්ණයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු තෙල් සමාගමට අනුබද්ධ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) මේ වසර මුලදී ගිවිසුමක් අත්සන් කළා.
තෙල් ගබඩා කිරීමේ පහසුකම එහිම ජැටියකින් සමන්විත වනවා.
LIOC සහ CPC එක්ව ටැංකි 85ක් සංවර්ධනය කිරීම සඳහා Trinco Petroleum Terminals Ltd නමින් විශේෂ කාර්ය හවුල් ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.
ඒ අනුව බැලූවිට පෙනී යන්නේ මෙම වරාය සංවර්ධන ක්‍රියාමාර්ග හරහා ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉතා දැඩි වාසි අත්වන බවයි.