ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් ලෙස පසුගිය සතියේදී ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හතර දෙනාගෙන් එක් අයකු පාතාල නායකයෙකු වන නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් පුත්‍රයා බව ලාංකීය බලධාරීන් විසින් අනාවරණය කර තිබෙනවා.
මීගමුවේ පදිංචි 33 හැවිරිදි මොහොමඩ් නුස්රත්, සහ කොළඹ නගරයේ පදිංචිකරුවන් වන 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන පිරිස මෙහිදී අත්අඩංගුවට පත්ව තිබුණා.
මොවුන් අතරින් 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන් කුප්‍රකට අපරාධකරුවෙකු වන ‘පොට්ට නවුෆර්’ හෙවත් නියාස් නවුෆර්ගේ පුත්‍රයා බවට හඳුනාගෙන තිබෙනවා.
2004 වසරේ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් 2021 වසරේ අගෝස්තු 27 වන දින කොරෝනා වැළඳී වැලිකඩ බන්ධනාගාර රෝහලේදී මිය ගියා.
වැඩිදුර විමර්ශනවලදී හෙළි වූයේ පාසල හැර යාමෙන් අනතුරුව මොහොමඩ් නෆ්රාන් ශ්‍රී ලංකාවේ විකිණීම සඳහා රෙදි පිළි මිලදී ගැනීම සඳහා ඉන්දියාවට නිතර යාමට පටන් ගත් බවයි.
2017 දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත යටතේ ගොනුකර ඇති චෝදනා මත ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන්ගේ අයි. එස්. අයි. එස් සබඳතා හෙළිකර ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන් හෙළිකරන තොරතුරු මෙරටට ලබාදෙන ලෙස ඉන්දීය ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කර ඇති බවයි.