27 C
Colombo
Friday, April 19, 2024

වීරවංශගේ ජාතිවාදය හමුවේ ජිනීවා යන රාජපක්ෂ පිල..

- Advertisement -

ශ්‍රී ලංකාව ඇත්තේ ලෝකය තුළය. එහෙත් ලෝකය අවප්‍රමාණය කිරීමේ ජාතිවාදී දේශපාලනය විසින් දැන් කලක් තිස්සේ ලෝකය ස්ථානගත කරනු ලැබ ඇත්තේ ලංකාව තුළය. හරියට ලංකාවේ ඇතැම් පළාත් හා ජනප්‍රිය පාසල් අරභයා සමාජයෙහි නිර්මාණය කර ඇති අධිපති දෘෂ්ටි වාගේය. මෙසේ ලංකාව තුළ ලෝකය ස්ථාපනය කිරීම වැඩි වශයෙන් සේවය කළේ රාජපක්ෂවරුන්ටය. මේ ලෝකයේ නැති විදුලි පුටුවක් පවා මවාපාමින් පරිකල්පිත මානව හිමිකම් සතුරන් පෙන්වා ඡන්ද ඩැහැගැනීමේ කලාවේ විශාරදයෝ බවට ඔවුහු කලක් පත්ව සිටියහ. එහෙත් සෑම වසරකම වාගේ මාර්තුවේ පැමිණෙන ලෝක යථාර්ථයට මුහුණදීමට ඔවුන්ට දැන් සිදුව තිබේ. ඒ රාජ්‍ය පාලනය හිමි තමන්ට නිසාය. ශක්තික සත්කුමාර සාහිත්‍යකරුවා නඩුවෙන් නිදහස් වීම, කොවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට අවසර දීම ආදී පියවර මගින් ශරීරය සූදානම් කරගන්නට ආණ්ඩුව හදන්නේ ඒ නිසාය. එහෙත් ආණ්ඩුවට ඡන්දය දුන් ජාතිකවාදී කණ්ඩායම්වලට (සියල්ලන්ට නොවේ) මේ පියවර අදාළ නැත. රුවන්වැලි සෑය ඉදිරිපිට දිවුරුම් දී පැමිණි සිය නායකයා අලි සබ්රිට යටත්වුණාදැයි සමාජ මාධ්‍ය පුරා කාව්‍යාත්මක ලෙස අසන්නේ ද ඒ නිසාය. මෙම තත්ත්වය විසින් රාජපක්ෂවරුන් කෙරෙහි කෝපයෙන් සිටින්නන්ට දේශපාලනික විනෝදයක් උදාකරනු ලැබුව ද අප පන්දු කෙළිමින් සිටින්නේ රටක් හැටියට සාවධාන විය යුතු බරපතල කරුණක් සමගය.

සැබෑව නම් ශ්‍රී ලංකාව ඇත්තේ ද ලෝකය තුළ ය. ලෝකයේ දේශපාලනික සංවිධානය සකස්ව ඇත්තේ ලෝක බල තුලනයක් අනුවය. ඒ බලතුලනය සැකසුණේ එංගලන්තය, ඇමෙරිකාව, රුසියාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වය විසින් ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පාර්ශ්වය පරාජය කිරීමෙන් පසුවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් හදාගන්නට නව ලෝක බලවතුන් කැපවුණේ එයින් පසුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවද්දීම එම ප්‍රඥප්තියේ මුලින්ම සඳහන් කළ කාරණයක් වූයේ දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝක සාමය කඩ වූ බවත් ලෝක සාමය කඩවන්නේ මානව හිමිකම් නොතකා හැරීම නිසා බවත්ය. එනිසා ලොව පුරා ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අරමුණක් විය. මෙම සංවිධානයට බැඳෙන සියලු රටවල් එහි ප්‍රඥප්තිය පිළිගන්නා නිසා පිළිගන්නා අනෙක් කාරණය වන්නේ ලෝක ක්‍රමය තුළ තමන් සිටී නම් මානව හිමිකම් ආරක්ෂා කරන ස්ථාවරයේ ද තමන් පිහිටිය යුතු බවයි. එසේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට යම්කිසි යාන්ත්‍රණ ද සකසා ඇත. මානව හිමිකම් කවුන්සිලය යනු එසේ සැකසූ එක් යාන්ත්‍රණයක් පමණි. රාජපක්ෂවරුන්ගේ දේශපාලනය නිසා ශ්‍රී ලංකාව රටක් හැටියට විහි`ඵ කරමින් සිටියේ මෙම ආයතනය සමගය. එහෙත් යුද්ධය පෙන්වා දෙමළ ජාතිය සතුරන් කර ඡන්ද ගන්නා කාලයේදී මෙන් දැන් එයින් වාසි ගැනීම රාජපක්ෂවරුන්ට අපහසු වී තිබේ. මන්දයත් නැති යුද්ධයක් ගැන කියා බිල්ලන් මවා ඡන්ද ගැනීමට ඇති ඉඩකඩ එන්න එන්නම අඩුවෙමින් පවතින නිසාය.

මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට ඇති අනතුර යම් පමණකට හෝ පාලනය කරගැනීමට කිසියම් අවස්ථාවක් ලැබුණේ 2015 දීය. ඒ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සමඅනුග්‍රහ යෝජනාවක් ගෙනඒමෙනි. මේ නිසා ලංකාවට පිටින් ගෙනෙන යෝජනාවක් සම්මත වීමේ ඉඩ ඇහිරුණු අතර එසේ වී නම් ලංකාවට නටන්නට සිදුවන්නට තිබුණේ මුළුමනින්ම බලවත් විදේශ කියන පදයටය. සමඅනුග්‍රහ යෝජනාව නිසා සිදුවුණේ එහි වැඩ කරන හැටි ලංකාවේ පාර්ලිමේන්තුවට පවරාගැනීමට හැකිවීමය. විමර්ශන පවත්වන විනිසුරුවන්, ඔවුන්ගේ කාර්යභාරය, විමර්ශන නිලධාරින්, සාක්ෂි කැඳවන ආකාරය, විභාගයේ කාර්ය පටිපාටිය, ඔප්පු කිරීමේ භාරය ආදී රාමුව සකස්කිරීමේ වගකීම ලංකාවට පැවරීමය. එහෙත් අද බලයේ සිටින පිරිස එදා විපක්ෂයේ සිට කළේ මෙම වැඩපිළිවෙල දැඩිසේ විවේචනය කිරීමය. අද ආණ්ඩුවටම සතුරෙකු සේ පෙනෙන විමල් වීරවංශ මේ මානව හිමිකම් වැඩපිළිවෙලේ උග්‍ර විවේචකයකුව සිටියේය. ඔහු මේ වැඩපිළිවෙල හැඳින්වූයේ ලංකාවට එරෙහි කැලෑ උසාවියක් කියාය. ඇතැම්විට හිටපු අගවිනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් එලවාදැමීමේ කැලෑ උසාවියේ නඩුකාරයකු වූ නිසා වීරවංශ මහතාට එසේ සිතෙන්නට ඇත. එහෙත් බලය සඳහා ඕනෑම දෙයක් කිරීමේ විපක්ෂ භූමිකාවට පණ පොවමින් සිටි මහින්ද රාජපක්ෂ කළේ ද වීරවංශ වැනි හනුමාන්ලා යොදා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමය.

එහෙත් ඉතිහාසය චක්‍රාකාර වෙද්දී ආණ්ඩු බලය හොබවන මහින්දට දැන් 2015 දී මෙන් කටයුතු කරන්නට බැරිය. ගින්න ඇවිල වූ වීරංවංශලා ආණ්ඩුව ඇතුලේ ගිනි අවුලවද්දී මානව හිමිකම් ගැන නාහෙන් අඬන්නට ජී.එල් දමන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් මානව හිමිකම්වලට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීය වැනි මල්ලේ පොල් කතාවලින් මේ ජාත්‍යන්තර ප්‍රශ්නය ජයගැනීමට හැකි නැත. මිලිටරි ආකෘතියේ වැඩ කරන ගෝඨාභය රාජපක්ෂ නොදනිතත් ඒ ගැන මහින්ද හොඳින් දනී. 88/89 එ.ජා.ප භීෂණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජිනීවා ගිය මහින්ද එය හොඳින් දනී. කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර දීමෙන් මුස්ලිම් ජනයා සමග ඇයි හොඳයියක් ඇතිකරගන්නට දරන වෑයමේ අරුත එයයි. ඉම්රාන් ඛාන් කඩිමුඩියේ ලංකාවට පැමිණෙන්නේ ද මේ වටපිටාවේය. ජාත්‍යන්තරය නිසා හෝ මුස්ලිම් ජනයාට සාධාරණයක් ඉටුවනවා නම් හොඳය. අනෙක් අතට අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා කිසියම් දුරකට හෝ පාලනය කරගනිමින් උතුරේ දේශපාලන පක්ෂ අතර ඇතිකරගත් හවුල ද මහින්දලාගේ ජාතිවාදී දේශපාලනය ලෝකය හමුවේ නිරාවරණය කරයි. ඒ නිසා මානව හිමිකම් කඩුල්ල සුපුරුදු පරිදි පැනයන්නට මෙවර ටිකක් අපහසුය. සන්දර්භය වෙනස්ය. එහෙත් මහින්දලා කිරි දී වැඩූ ජාතිවාදී සර්පයන්ගේ හලාහල විෂ එහෙමටය කියා එකවර ඉවත්වෙන්නේ නැත. අගමැතිවරයා භූමදානය කරන බව පැවසුවේ මෘතදේහ මිස කොවිඩ් මෘතදේහ නොවන්නේ යැයි පොහොට්ටුවේ ආධුනික මන්ත්‍රීවරියක හැරෙන තැපෑලෙන් කියන්නේ ඒ නිසාය.

විමල්ගේ ඛන්ඩනයක් ගැන විපක්ෂයේ ඇතැමුන් සිහින දකින්නේ රාජපක්ෂලාගේ පවුල්වාදය පරාජය කළ හැකිය යන අරුතෙනි. එහෙත් ප්‍රශ්නය වන්නේ පවුල්වාදයට එරෙහිව ඔහු ඉදිරියට එනු ඇතැයි මොහොතකට සිතුවත් ඔහුට සමාජවාදය අත්හළ ආකාරයෙන් ජාතිවාදයෙන් අත්මිදිය හැකිද කියාය. විමල් යනු ජනතා විමුක්ති පෙරමුණ වඩ වඩාත් ජාතිවාදී කිරීමෙන් බලය ලබාගැනීමට තැත්දැරු ජවිපෙ ප්‍රකාශකයාය. අද මොන කතා කිව්වත් යුද්ධයේ අවසන් සමයේ බර අවි ප්‍රහාර නතර කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවා එකඟවෙද්දී බර අවියෙන්ම ගැසිය යුතු යැයි ආණ්ඩුව බිත්තියට හේත්තු කළේ ජ.වි.පෙ හා හෙළ උරුමයයි. මහින්දට බලය මිස ඒ සඳහා මග ගැන අදහසක් නොතිබුණු ඒ කාලයේ මතවාද සකසා පස සකසා දුන්නෝ මේ දෙපාර්ශ්වයයි. යුද්ධය අවසන් කිරීම සමග මේ ජාතිවාදී මතය නඩත්තු කිරීමට තිබූ ශඛ්‍යතාව අඩුවෙමින් ගියේ රටේ සැඟව පැවතුණු ආර්ථික අර්බුදය රබර් බෝලයක් මෙන් දිය මතුපිටට පැමිණි නිසාය. දූෂණ හා වංචා ගැන වූ දේශපාලන සාකච්ඡාවට තටු ලැබී 2015 දී මහින්ද පරාජයට පවා හේතුවුයේ මේ දේශපාලන පරිසරයේ වෙනසයි. එහෙත් විපක්ෂයේ සිටිය ද මහින්දලාට පුරුදු දේශපාලනය අත්හැරීමට හැකිවූයේ නැත. නැවත බලය ලබාගැනීම සඳහා පන්සල් ගානේ කරක් ගසමින් නැවතත් ජාතිවාදී විසකුරු ධර්මයම කියමින් දන්නා සියලුම ගේම් ගැසුවේ ඒ සඳහාය. විමල් වීරවංශ යනු ඒ විසකුරු ධර්ම ප්‍රචාරයේ කුරිරු ධර්මකථිකයෙක් විය. අද ඒ කථිකයා ජාතිවාදය වෙනුවට පවුල්වාදයක් ඇදගන්නට තැත් දරද්දී රටේ සැබැවින්ම ඇති මානව හිමිකම් ප්‍රශ්නය ගැන උත්තර බඳින්නට රාජපක්ෂ සහෝදර දෙපළට සිදුව තිබේ. වීරවංශට මෙන්ම රාජපක්ෂලාට ද සිය දේශපාලන අනාගතය ගැන හිතන්නට සිදුව තිබේ. එහෙත් ඒ මාර්ග වැටී ඇත්තේ දෙදිසාවකටය.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...