සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින් තොරව පොල් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.
රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි බිලියන තුනයි දශම දෙකක්- බිලියන තුනයි දශම හතරක්(3.2-3.4) පමණ වන බවත් වර්ෂයකට රටේ පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි බිලියන එකයි දශම හතක්- එකයි දශම නවයක්(1.7-1.9)ක් බවයි ඔහු පවසන්නේ.
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි. සෑම වර්ෂයකම ඉහත මාස පහ තුළ පොල් හිඟය ගැන කතා කළත් පෙබරවාරි වලින් පසු රටේ පොල්ලස්වැන්න වැඩිවන නිසා පොල් මාතෘකාව නැතිව යනබවත් ඔහු එහිදී කියා සිටියා.
එම නිසා, සෑම වසරකම රිලා සහ දඩුලේනා මාතෘකාවට මුල් තැන නොදී හිඟවන කාලයට පොල් අපනයනය සීමාකර හෝ නතර කර මෙරට පාරිභෝගිකයන්ට මුල් තැන දීමට පොල් සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු බවත් බුද්ධික ද සිල්වා මහතා පවසනවා.
රිලවුන්ගෙන් සහ දඬුලේනුන්ගෙන් පොල් වගාවට හානි වන බව තමාද කියා සිටින බවත් පොල් හිඟයට ප්‍රධානම හේතුව පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව බවටත් ඔහු චෝදනා කළා.
එහි ඇතැම් නිලධාරීන් බහුජාතික සමාගම් වලට වාසි වන ලෙස පොල් අපනයනය කිරීමට සහයෝගය ලබා දෙන බවත් එසේ අපනයනය කළත් ඊට සරිලන විදේශ විනිමය රටට නොලැබෙන බව තමා පමණක් නොව විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙන්වා දී තිබෙන බවත් ඔහු කියා සිටියා.
ඒ පිළිබඳ තොරතුරු තමන් සතුව තිබෙන බව බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.