හිටපු ජනාධිපතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදී තිබූ වාහන 107 ක් පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම් අනුව ජනාධිපති කාර්යාලයට ආපසු භාරදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) නිවේදනය කළා.
ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කර තිබුණේ, වාහන සහ ඒවා භාවිත කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ ද තොරතුරු ඇතුළත් වාර්තාවක් ද සමගයි.
එම වාර්තාවට අනුව, හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරියකට අධි සුඛෝපභෝගී porsche cayenne එස් වර්ගයේ රථයක් ද ලබාදී තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක ලෙස පත්කර සිටි හිටපු කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියට මෙම porsche cayenne S වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් රථය ලබාදී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වුණා.
කෙසේ වෙතත්, රෝසි සේනනායක මහත්මියට ලබාදී තිබූ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.
2012 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි වන මිල දල වශයෙන් රුපියල් ලක්ෂ 210 ඉක්මවනු ලබන අතර, 2022 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර් රථයක් මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 320 කට අධික වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියෙන් ලැබී ඇති බලතල අනුව හිටපු ජනාධිපතිවරයා වාහන 107 ක් සිය පෞද්ගලික කාර්යය මණ්ඩලයට ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයාට සහය වීම සඳහා ඔහුගේ මතය අනුව ලේකම්වරුන් පත් කිරීමට ව්‍යවස්ථාවේ එම වගන්තියෙන් බලය ලැබෙන අතර අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් හා කාර්යය මණ්ඩලය පත්කිරීමට හැකියාව තිබෙනවා.
කෙසේවෙතත්, රටේ ජනතාවගේ මුදල්වලින් පවත්වාගෙන යන ඒකාබද්ධ අරමුදල මඟින් ආණඩුක්රම ව්‍යවස්ථාවට අනුව මෙම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම සිදුවනවා.
ජනාධිපති කාර්යාලය ඊයේ නිකුත් කළ වාර්තාවට අනුව, හිටපු ජනාධිපතිවරයා ලේකම්වරුන් 5 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට මේ පදනමින් සුඛෝපභෝගී වාහන ලබා දී තිබූ බව ඊයේ නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වී තිබුණා.