30 C
Colombo
Thursday, June 8, 2023

චම්පික ප්‍රශ්නය, හරීන් ප්‍රශ්නය සහ සන්ධාන ප්‍රශ්නය සජිත් විසඳන්න ඕනෑ – මනෝ ගනේෂන්

- Advertisement -

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට ඔබ සියල්ලන් එකඟ බව පේනවා. එහෙත් නායකයෙක් විදියට ඔහුගේ අඩුපාඩු තියෙන බවට කුමන හෝ සාකච්ඡාවක් තියෙනවාද?

ඕනෑ පක්ෂයක නායකත්වය සම්බන්ධව විවේචන මතු වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ගැනත් ඒ විදියේ සාකච්ඡාවක් තියෙනවා තමයි. හැමෝම සතුටු වෙන විදියට නායකයෙක්ට කටයුතු කරන්න බැහැනේ. ඒ නිසා විවිධ චෝදනා, විග්‍රහ තියෙනවා. ඒවා විවිධ තැන්වල සාකච්ඡා වෙනවා. අපි හැමෝම සජිත්ට පක්ෂයි. ඒත් ඔහු යම් අඩුපාඩු හදාගන්න ඕනෑ බවත් හිතනවා. මා ඒ ගැන කතා කරන්නේ සද්භාවයෙන්. ඔහුට සම්පූර්ණ පක්ෂපාතීත්වය ඇතිව.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශ්වාසය පළකරන යෝජනාවක් සම්මත වුණා. ඒක අභ්‍යන්තර සාකච්ඡාවක් වුණත්, රටේම අවධානයට ලක් වෙලා තියෙන නිසා යෝජනාව සම්මත වුණ විදිය පැහැදිලි කරන්න පුළුවන්ද?

ජුනි 07 වැනිදා තිබුණ සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකවරුන් වාඩි වුණාම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නායකතුමා පණිවිඩයක් එවලා තියෙනවා කියලා ඒ ගැන විග්‍රහ කරන්න පටන් ගත්තා. නායකතුමා යෝජනාවක් සම්මත කරගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා කියලා කොලයක් අරන් එතුමා යෝජනාව කියෙව්වා. සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ අපි විශ්වාසය තබනවා, ඔහුට එරෙහිව කුමන්ත්‍රණයක් නැහැ කියලා කිව්වා. ඒ යෝජනාව කියවද්දී අපි ඔක්කෝම අහගෙන හිටියා. ඒකේ මුලින්ම තිබුණා සමගි ජන බලවේගයේ කිසිම කැරැල්ලක්, කුමන්ත්‍රණයක්, බෙදීමක් නැහැ කියලා. ඒ කියන්නේ එහෙම බෙදීමක් ගැන විවෘත කරුණු තමයි මුලින්ම කීවේ.

ඒ කියන්නේ එහෙම කුමන්ත්‍රණයක් ගැන තහවුරු වෙන විදියට..

ඔව්, එතකොට රාජිත සේනාරත්න මහතා කීවා එහෙම බෙදීමක් නැති නිසා තියෙනවා වගේ යෝජනාවක් සම්මත කරගන්න ඕනෑ නැහැනේ. ඒ නිසා යෝජනාව සංශෝධනය කරන්න කීවා. සමහර මාධ්‍යවල තියෙනවා වගේ බෙදීමක් නැහැ කියලා දාන්න කිව්වා. ඒ අනුව යෝජනාව සංශෝධනය කරගත්තා. ඒක කීවාට පස්සේ අපි නිහඬව හිටියා. ඒ අනුව සම්මත වුණා.

එතකොට යෝජනාව ඉදිරිපත් කරපු සම පාර්ශ්වකරුවන්ගේ නම් ආවේ කොතැනින්ද?

කොටස්කාර පක්ෂවල අයත් යෝජනාවට දායකත්වය දෙන්න ඕනෑ කියලා රාජිත සේනාරත්න මහතා යෝජනා කළා. ඒ අනුව අපේ නම් ඒකට දැම්මා. චම්පික රණවකගේ නම දැන් දැම්මා. මමත් චම්පිකත් එක ළඟ වාඩිවෙලා හිටියේ. ඔහුගේ නමත් දැම්මා. ඒ වෙලාවේ කියවුණ නම් ටික ලියාගත්තා.

එච්චරයි?

ඒ වෙලාවේ සරත් ෆොන්සේකා මහතා මැදිහත්වීමක් කළා. කොටස්කාර පක්ෂවල නායකවරුන් යෝජනා කරපු විදියට නම් දාන්න එපා. මේක සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්නේ. ඒ නිසා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ යෝජනාව සම්මත කරගන්න විදියට තමයි දාන්න ඕනෑ කියලා කිව්වා. ඒත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විදියට කොටස්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ගේත් සහයෝගය ලැබෙන්න ඕනෑ බව යෝජනා වුණා. මොකද සමහර මාධ්‍යවල ප්‍රචාරය වුණානේ සමගි ජන බලවේගය එක්ක ඉන්න කොටස්කාර පක්ෂ වෙන වෙන දේශපාලන සාකච්ඡාවල ඉන්න බව. ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ යෝජනාව ඉවත් වුණා. ඒක තමයි කෙටියෙන් කීවොත් සිද්ධ වුණේ.

අඩුපාඩු මොනවාද?

චම්පික රණවක මහතා විපක්ෂයේ ප්‍රධාන චරිතයක්. ඔහුට සුදුසු අවස්ථාව තවමත් සමගි ජන බලවේගය තුළ ලැබිලා නැහැනේ. එයාගේ පක්ෂය වන හෙළ උරුමය අත්හැරලා සමගි ජන බලවේගයට ආවා. සමගි ජන බලවේගය තුළ චම්පිකට සුදුසු තැන දීලා නැහැ. මමත් කිහිප වතාවක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග කතා කරලා තියෙනවා. ඔහු කීවා චම්පික රණවක එක්ක සාකච්ඡා කරන්න කමිටුවක් දාලා තියෙනවා. ඒකේ ප්‍රධානියා රංජිත් මද්දුමබණ්ඩාර. ඒ අනුව සාකච්ඡා කරනවා කියලා. මම ඒක චම්පික රණවක මහතාගෙන් විමසුවා. චම්පික කීවා එක පාරක් කතා කළා මනෝ. ඊට පස්සේ එතැනින් එහාට ඒ සාකච්ඡාව ගියේ නැහැ. ඒක අත්හැරලා දැම්මා කියලා. ඒ අනුව ඔහුට තවමත් තැනක් ලැබිලා නැහැ. ඒක තමයි සමගි ජන බලවේගය තුළ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

ඒ හැරුණාම..

හරින් ප්‍රනාන්දු මහත්මයාත් කළකිරීමකින් ඉන්න බව මම දන්නවා. ඒ බව පේන්න තියෙනවා. චම්පික රණවක වගේම හරීන් ප්‍රනාන්දු එම පක්ෂයේ ප්‍රධාන චරිතයක්. හරීන් ප්‍රනාන්දු සහ මම හමු වුණා. මමත් අපේ සන්ධානයේ නියෝජ්‍ය නායක පී. දිගම්බරම් මහතාත් ඒ දවස්වල ඔහු හමු වුණා. හොස්පිට්ල් එකේ හිටපු දවස්වල. ඊට පස්සේ දූරකථනයෙන් සාකච්ඡා කළා. ඔහුගේ කළකිරීමටත් සාධාරණ හේතුවක් තියෙනවා.

ඒ මොකක්ද?

ඔහු තමයි සමගි ජන බලවේගයේ උද්ඝෝෂණ මාලාව ආදී හැමදේම ලෑස්ති කළේ. තමන්ගෙම අතින් මුදල් වියදම් කරගෙන, කාලය වැය කරගෙන තමයි සැලසුම් කළේ. පාර්ලිමේන්තුවේ කළු පටි දාන ඒවා, විරෝධතා පවත්වන ඒවා ලෑස්ති කළේ ඔහු. පාර්ලිමේන්තුවෙන් පිට උද්ඝෝෂණ ලෑස්ති කළේත් ඔහු. එහෙත් පසුගිය මැයි රැලිය අපි පැවැත්වුවේ නැහැ. එහෙත් ඒක සැලසුම් කළානේ. ඒ වෙලාවේ හරීන් ප්‍රනාන්දු මහතා තමයි වගකීම ගත්තේ. හිටපු ගමන් සජිත් ප්‍රේමදාස මහතා ඒ වගකීම එස්.එම්. මරික්කාර්ට බාර දුන්නා. මරික්කාර් කියන්නේ හරීන්ට සමාන කෙනෙක් නෙවෙයි. පසුපෙළ මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒක හරීන් ප්‍රනාන්දු මහතාගේ අමනාපයට හේතු වුණා. ඔය කාලසීමාවේ තමයි ඔහු අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ගැනත් වාර්තා වුණේ. ඒ දවස්වල ඔහු කීවා සුමානයක් දෙකක් දේශපාලනයෙන් අයින් වෙනවා කියලා. ඒ වෙලාවේ තමයි ඔහු රෝහල්ගත වෙලා තමන්ගේ පෞද්ගලික සැත්කමක් කරගත්තේ. ඒක බරපතල සැත්කමක් නෙවෙයි. දැන් ඔහු ටිකක් විවේක සුවයෙන් වගේ තමයි ඉන්නේ.

ඔබ දකින විදියට හරීන් ප්‍රනාන්දු මහතා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

ඔහු පක්ෂයේ නායකත්වයවත්, නායකයා වෙනස් කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතාට ඔහු විරුද්ධ නැහැ. ඔහු කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්න ඕනෑ කියලයි. අපිත් ඒකට එකඟයි. අඩුපාඩු හදාගෙන අපි ඉදිරියට යමු කියන එක තමයි ඔහු එක්ක අපි කතා කරපු අවස්ථාවලදී එකඟ වුණේ.

සන්ධානයක් හදන එකත් ප්‍රමාද වෙනවා නේද?

අපි කොටස්කාර පක්ෂ විදියට දිගටම ඉල්ලීම් කළා සන්ධානය හදන්න කියලා. සන්ධානයට ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා රංජිත් මද්දුමබණ්ඩාර මහතා දුන්නා. ඒත් ඒක ඉදිරියට ගියේ නැහැ. සමගි ජන බලවේගය හැදුවේ අපි. කොටස්කාර පක්ෂ සියල්ල එකතුවෙලයි ඒක හැදුවේ. සන්ධානයක් කියනකොට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඉන්නවා. ඒකේ මම, පී. දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන් මහත්වරු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ඉන්නවා. ඊළඟට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ඉන්නවා. චම්පික රණවක එක්ක ජාතික හෙළ උරුමය හිටියා. දැන් ජාතික හෙළ උරුමයෙන් චම්පික රණවක මහතා ඉවත් වෙලා. එහෙත්, ඒ පක්ෂය සන්ධානයෙන් ඉවත් වූ බව දැනුම්දීලා නැහැ. හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැතත් ඒ කණ්ඩායමත් සන්ධානයේ ඉන්නවා.

මහමැතිවරණයට කලින් එජාප සන්ධානයෙන් ඉවත්වෙලා සජිත්  එක්ක එකතුවීම ඒ වෙලාවේ තීරණාත්මක සාධකයක් වුණා..

ඔව්. එජාපයේ ඉඳලා සජිත් ජනාධිපති අපේක්ෂකයා කළ අවස්ථාවේම අපි ඉස්සරහට අඩිය තිබ්බ නිසයි රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වුණේ. අපට දුන්න සන්ධාන ව්‍යවස්ථා කෙටුම්පත ගැන සෑහීමට පත් වෙන්න බැරි බව අපි දැනුම් දුන්නා. ඒක සන්ධාන ව්‍යවස්ථාවක් නෙවෙයි, සමගි ජන බලවේගයේ යටතේ තියෙන කොටසක් වගේ තමයි ඒ කෙටුම්පතේ තිබුණේ. මම ඒක අරන් පැත්තකට දැම්මා. තවම ඒ ගැන සාකච්ඡා කරලා නැහැ. 2019 ජනාධිපතිවරණය කාලයේ අපි එකඟ වෙලානේ සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට පත් කළේ. ඒක දැන් සමගි ජන බලවේගයේ ඉන්න සමහර අය දන්නෙ නැතිව ඇති. 2018 කුමන්ත්‍රණය වෙලාවේත් අපි හිටපු නිසා තමයි නැවත ආණ්ඩුව ලබාගන්න පුලුවන් වුණේ.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වූ අවස්ථාවේත් අපි සහයෝගය දුන්නා. සමගි ජන බලවේගය නිර්මාණය කිරීමටත් අපි විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයට ආපු වෙලාවේ අපි ඒ සන්ධානයේ ප්‍රමුඛ කාර්යභාරයක් කළා. අපි තමයි ඒ බලවේගයේ ඉදිරියෙන් හිටියේ. අපි හිතුවේ සමගි ජන බලවේගය කියන්නේ සන්ධානයක් කියලයි. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අය ඒ සන්ධානයට ආවේ එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම විදියට. මොකද ඔවුන් හිතුවේ ඡන්දයෙන් පස්සේ එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබේවි කියලා.

ඒත් ඊට පස්සේ සමගි ජන බලවේගය පක්ෂයක් වුණා..

ඡන්දයෙන් පස්සේ අපට නොකියා තමයි සමගි ජන බලවේගය තමන්ගේ පක්ෂයක් බවට හරවාගත්තේ. ඒක වැරැද්දක්. ඒක පක්ෂයක් විදියට හරවාගන්න ඕනෑකමක් තිබුණ බව අපට තේරුම්ගන්න පුළුවන්. මොකද එක්සත් ජාතික පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා දුන්නේ නැහැ. ඒ නිසා වෙන පක්ෂයක් ඔවුන්ට අවශ්‍යයි. ඒ බව අපි පිළිගන්නවා. එහෙත්, ඒ ගැන අපි එක්ක සාකච්ඡා කරන්න තිබුණා.

ඒත් සමගි ජන බලවේගය පක්ෂයක් බවට හැරෙව්වාම අනෙකුත් පක්ෂ ඒක බාරගත්තා..

ඔව්. අපට විරෝධයක් තිබුණත්, අපි ඒ තත්වය බාරගත්තා. ඒ අතරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබාදීමේදීත් අපට අසාධාරණයක් වුණා. මන්ත්‍රීධුර නවයක් ලැබුණානේ. ඒ සියල්ල ඔවුන් ගත්තා. අඩු තරමේ අපට එකක් දෙන්න තිබුණා. මොකද රත්නපුර, කෑගල්ල ආදී දිස්ත්‍රික්කවලින් අපට සෑහෙන ඡන්ද ලැබුණා. මනාප තුන්ලක්ෂ හැත්තෑපන්දාහක් විතර තිබුණා. ඒත් ඒ දිස්ත්‍රික්කවල අපට යන්තමින් මන්ත්‍රීධුර මඟහැරුණා. ඒ අපේ ඡන්ද. ඒවා සමගි ජන බලවේගයට එකතු වුණා. ඒ අනුව අපට තව මන්ත්‍රීධුරයක් ලැබෙන්න තිබුණා. ජාතික ලැයිස්තුවෙන් ඔවුන් පත් කරගත් හැමෝම නුසුදුසු අය නෙවෙයි. සුදුස්සන් පත් වුණා. ඒත් නුසුදුසු අය තුන්දෙනෙක් හිටියා. එක්කෙනෙක් නුසුදුසු බව ප්‍රසිද්ධියේ හෙළි වුණා.

ඩයනා ගමගේ..

ඔව්. එයාට අමතරව තව නුසුදුස්සන් දෙන්නෙක් පත් කළා. ඒ මන්ත්‍රීධුර අපට දෙන්න පුළුවන්. අපි හිතමු ඉමිටියාස් බාකිර් මාකර් මුස්ලිම් ජාතිකයෙක් වන නිසා ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් කෙනෙක් පත් කළා කියලා. එහෙත් ජාතික ලැයිස්තුවෙන් දෙමළ කිසිම කෙනෙක් පත් කළේ නැහැනේ. ඒ වෙලාවේත් අපි ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතිව මහත්වරු විදියට හැසිරුණා. එච්චර කළාට පස්සේත් සන්ධානය හදන්නේ නැතිව කල් දානවා. අපි බලාගෙන ඉන්නවා. ඒ අනුව සමගි ජන බලවේගයේ චම්පික ප්‍රශ්නය, හරීන් ප්‍රශ්නය සහ සන්ධාන ප්‍රශ්නය සජිත් විසඳන්න ඕනෑ. ආණ්ඩුව කඩාවැටෙන බව කවුරුත් දන්නවා. එහෙත් ආණ්ඩුව කඩාවැටුණ පළියටම අපේ ඔඩොක්කුවට ඇවිත් ආණ්ඩුවක් වැටෙන්නේ නැහැ. මම මේක ප්‍රධාන පෙළේ නායකයන් එක්කත් කියා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආණ්ඩුවේ එක්කෙනෙක්. ඔහුට ජනතාව විරුද්ධ වුණත්, සමහරවිට ඉදිරියේදී තවත් රාජපක්ෂ කෙනෙකුගේ රවුමක් යයි.

නැත්නම් විමල් වීරවංශලා කඩාගෙන ගියොත්..

ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. ශ්‍රීලනිපයයි, විමල් වීරවංශ පාර්ශ්වයයි, සමගි ජන බලවේගයෙන් කඩාගෙන ගිය පිරිසකුයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකුයි එකතු වෙලා බලවේගයක් හැදුණොත්. එහෙම අවස්ථාවක සෙසු පක්ෂවල සහයෝගය ඉල්ලුවොත්. තීන්දුවක් ගන්න වේවි. අපට ඕනෑ එහෙම දෙයක් නෙවෙයි. අපට ඕනෑ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරලා, සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවක්. සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනෑ.

ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස නම් පුද්ගලයා නෙවෙයි, ඔහුගේ යටතේ ගෙනියන සංස්කෘතිය..

ඒක හරි. මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් නොවී අලුත් දේශපාලන සංස්කෘතියකට ප්‍රජාතන්ත්‍රවාදීව සන්ධානය ගෙනියන එකයි අපේ බලාපොරොත්තුව.

ඇතැම් වාර්තා පළ වෙනවා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කිරීමට සැලසුමක් තියෙන බව..

ඒවා නම් මාධ්‍යවලින් පැළකරන කතා. සජිත් තමයි විපක්ෂ නායක. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔහු එජාප නායක, හිටපු අගමැති ආදී තත්වයන් නිසා පිළිගැනීමක් තියෙනවා තමයි. එහෙත් විපක්ෂ නායක කිරීමට අදහසක් නෑ. මමත් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කතා කළා. ඔහු එහෙම බලාපොරොත්තුවක් ගැන කියා නැහැ. රාජපක්ෂලාට විරුද්ධ විකල්ප රජයක් හදන්න ඕනෑ කියන අදහසේ තමයි ඔහු ඉන්නේ. අපි බලමු ඉදිරියේදී ඔහු මොනවා කරයිද කියලා.

– තරිදු උඩුවරගෙදර –

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...