සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් තිබෙන බව සඳහන්.
පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වනවා.
ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතයි.
ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය.
සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සිදුකරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙර කටයුතු කළා.
ඒ සටන්විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බලකිරීමේ අරමුණින්.
කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල්කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුදයකට යොමුකරමිනුයි.
අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, මෙතරම් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ඊයේ(17) දිනයේදී.
මෙහිදී ගුවන් ප්‍රහාරවලට අමතරව, දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර තිබූ බව අල්ජසීරා මාධ්‍ය වාර්තා කර තිබුණා.
ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව අමෙරිකාව දැනුම්වත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.
හමාස් සංවිධානය යළි සංවිධානය වෙමින් පවතින බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.
මේ හේතුවෙන් අවශ්‍ය වුවහොත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්, ඊශ්‍රායලය පවසා ඇති අතර, ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති අවකාශ ගැනත් ඉඟි පළකර තිබුණා.
මේ අතර අමෙරිකාවද මේ වනවිට යේමනයේ හූති ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊට ප්‍රතිචාර ලෙස රතු මුහුදේ අමෙරිකානු යුද නෞකාවට ප්‍රහාර එල්ල කළ බව හූති සටන්කාමීන් පවසනවා.