තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා.
අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ ඔහුගෙන් පියා පිළිබඳ විමසා තිබෙනවා.
තරුණයා විසින් පියා එවිට නිවසේ නොසිටි බව පවසා ඇති අතර, ඔහුව නිවසෙන් පිටතට රැගෙන ගොස් පොලිස් නිලධාරියෙකු පහර දුන් බවයි මෙම තරුණයා පවසන්නේ.
එම පහරදීමෙන් පසුව තම කනේ දැඩි වේදනාවක් ඇතිවූ බවත් තමා නිවස ඇතුළට ගිය බවත් තරුණයා සඳහන් කළා.
පසුව මෙම තරුණයාගෙ පියා නිවසට පැමිණීමත් සමග පොලීසිය විසින් පියාට පහරදී තිබෙනවා.
තරුණයා පවසන්නේ, රාත්‍රියේදී තම පියා බීමත්ව කෑගෑසු බවට හේතුවෙන් පොලීසිය විසින් පියාට මෙම පහරදීම සිදු කර ඇති බවයි.
තම පියාට එල්ල වූ පහරදීම වීඩියෝ කිරීමට තරුණයා උත්සාහ කළ අවස්ථාවේදී, එය දුටු එක් පොලිස් නිලධාරියෙකු විසින් වීඩියෝව මකා දමන ලෙස තර්ජනය කර, තමාටත් පහර දුන් බවද සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයාගෙ මව හැඬූ කදුලින් කියා සිටියේ, තම පුතා නිවසේ රැඳී සිටිමින් මාර්ගගත පන්තියකට සම්බන්ධව සිටින අවස්ථාවේදී මෙම පහර දීම සිදු කර ඇති බවයි.
පොලීසියට මෙවැනි ආකාරයෙන් හැසිරීමට හැකිද යනුවෙන් විමසූ මව සාමාන්‍ය පවුල්වල ළමුන්ට මෙවැනි අසාධාරණත්වයන් නොමතුවිය යුතු බවත් පහරදීමට පහර දුන් අදාළව පොලිස් නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ සිදු කරන ලෙසද ඉල්ලා සිටියා.
“දරුවා ගෙදර තනියම හිටියේ. එහෙම වෙලාවකට ඇවිත් දරුවට ගහන්න අයිතියක් නැහැනේ. තාත්තා ඊයේ රෑ බීලා කැගැහුවා කියලා තමයි පොලීසියෙන් මෙහෙම ඇවිත් තාත්තව හොයද්දි,,තාත්තා නැතුවට උබ යමං කියලා දරුවා එක්කගෙන ගිහින් ගහලා. දැන් දරුවට අමාරු නිසා රෝහලට එක්කගෙන ආවේ..මේකට කොහොමහරි සහනයක් කරලා දෙන්න. පොලිස්පතිතුමනි මේකට සාධාරණයක් කරලා දෙන්න. දරුවා ගේ ඇතුළේ ඔන්ලයින් පන්තියකට සභභාගි වෙලා හිටියේ. ගෙදර එද්දි දරුවා අඩා අඩා හිටියා”