31 C
Colombo
Sunday, April 2, 2023

සූරියවැව ගොවීහු මාරාන්තික උපවාසයක් අරඹති

- Advertisement -

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකෙරෙන සත්‍යග්‍රහයක පසුගිය 18 දා සිට නිරත වූ සූරියවැව, වල්සපුගල ගොවීන් 21 දෙනෙක්, අද (20) වල්සපුගල වැව්කණ්ඩියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. ඒ අදාල ගැටළු සම්බ්නධයෙන් වගකිවයුතු කිසිවකු සාර්ථක පිළිතුරක් ලබානොදීම නිසා ය.
මේ ප්‍රදේශයේ අන්දරවැව, උස්ගල, මත්තල ඇතුළු ප්‍රදේශ රැසක අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස මෙම අලි කළමනාකරණ රක්ෂිතය පිහිටුවීමට තීරණය කෙරිණි. හෙක්ටයාර් 25,000ක භූමි ප්‍රදේශයක් මේ රක්ෂිතයට අයත් වන අතර, එම ඉඩම් මහා පරිමාණ වාණිජ වගා සඳහා යොදාගැනීමට උත්සාහ දරමින් සිටින බවට සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම අවධාරණය කරයි.

පොරොන්දුවෙන් පසු දකින්නත් නෑ

2008 වසරේ සිට මේ රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දු වී ඇතත්, මෙතෙක් එය සිදුකර නැත. 2020 ජුනි මාසයේ පැවැති හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ද පොරොන්දු වී ඇත්තේ මේ භූමිය ගැසට් කිරීම කඩිනමින් සිදු කරන බවට ය. මාස තුනක් තුළ ඊට අදාළ කටයුතු සිදු කරන බවත්, අනවසර වගා ඉවත් කර, අලිමංකඩ නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා මෙහිදී ගොවීන්ට පොරොන්දු වී තිබේ. ඉන්පසු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත්, නාමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ගොවීන්ට ඒ සඳහා මෙතෙක් අවස්ථාවක් ලැබී නැත.

චමල් දැඩි තීරණයක

කෙසේ වෙතත් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී චමල් රාජපක්ෂ ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ මේ භූමිය රක්ෂිතය සඳහා නිදහස් කළ නොහැකි බවයි. මහවැලි විෂය භාර කැබිනට් ඇමැතිවරයා වන චමල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී ඇත්තේ අදාළ භුමිය වගා කටයුතු සහ ආයෝජන කටයුතු සඳහා භාවිත කිරීම වඩා වැදගත් වන බව ය. රක්ෂිතය ලෙස ගැසට් කිරීමට යෝජිත මේ භූමියෙන් විශාල ප්‍රදේශයක් අයත්වන්නේ මහවැලි ව්‍යාපාරයට අයත් වලව කලාපයටයි.

25,000 වෙනුවට 5,500ක්

මේ සම්බන්ධයෙන් විමසීමට මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය. කෙසේ වෙතත් විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ගෙන් News19 මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ අදාළ රක්ෂිතය සඳහා හෙක්ටයාර් 5,500ක් ලබාදීමට අදාළ සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවයි. අදාළ කලාපයට හෙක්ටයාර් 8,500ක් අයත් වන බවත්, එයින් හෙක්ටයාර් 3,000ක් ආයෝජන ව්‍යාපෘති සඳහා මහවැලි අධිකාරිය සතුව තබාගෙන, ඉතිරි ප්‍රමාණය අලි කළමනාකරණ රක්ෂිතයට නිදහස් කිරීමට‌ අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් සහ ආයෝජන කලාපයක් පිහිටුවීම ආණ්ඩුවේ සැලසුම් බවත්, පරිසරය සුරක්ෂිත කරගනිමින් අදාළ සංවර්ධන කටයුතුද අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව ද අප කළ විමසීමේදී පැවසීය.

අලි 466කට ප්‍රමාණවත් ද?

ඇමැතිවරයා පවසන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ හෙක්ටයාර් 25,000ක් මේ අලි කළමනාකරණ රක්ෂිතයට අවශ්‍ය වන බවට වසර 12 ක් තිස්සේ තහවුරු කර තිබියදී, හෙක්ටයාර් 5,500ක් ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ කලාපය භාර ප්‍රධානියකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ කලාපය තුළ අලින් 466 දෙනෙකු සිටින බවට වාර්තා තම දෙපාර්තමේන්තුව සතු බවයි. එම නිසා හෙක්ටයාර් 5,500ක් අදාළ රක්ෂිතයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඇමැති එකක් කියයි – පොළොවේ වෙන එකක් වෙයි !

සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ රක්ෂිතයට යෝජිත භූමියෙන් අක්කර 100, 150 සහ 250 වැනි භුමි කොටස් දේශපාලනඥයන්ගේ හිතවතුන් විසින් වෙන්කරගෙන සිටින බවයි. අන්දරවැව, උස්ගල ප්‍රදේශයේ මේ ආකාරයට ඉහළ පොලිස් නිලධාරියෙකු, පළාත් සභා ඇමැතිවරයෙකු ඇතුළු පිරිසක් ද ඉඩම් වෙන්කරගෙන ඇතැයි පෙන්වා දෙන එම ගොවි සංවිධානය, මහවැලි අධිකාරිය හරහා මේ ඉඩම්වලට කඩිනමින් ඔප්පු ලබාගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් විමසීමේදී මහවැලි විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් පැවසුවේ මෙතෙක් අදාළ කලාපයෙන් කිසිවකුට ඉඩම් ලබාදීමක් සිදු කර නැති බවයි. ඇමැතිවරයා එසේ පැවසුවද, ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ ඉඩම් කොටස්වල විවිධ වාණිජ වගා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බවයි.

ඉල්ලීම් හයක් වෙනුවෙන් සත්‍යග්‍රහයක්

අලි-මිනිස් ගැටුම වැළැක්වීමට අත්‍යවශ්‍ය වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කිරීම, එම රක්ෂිත කලාපයට අලින් මුදාහැරීම, කලාපය අවට විදුලි වැට සක්‍රීය කිරීම, කලාපයට මෙපිටින් ඇති තෘණ භූමිය ගවයන්ට තණ කැවීම සඳහා ලබාදීම, වලව වම් ඉවුරේ ජල කළමනාකරණය විධිමත් කිරීම සහ මේ කලාපයේ සිදුවන මහා පරිමාණ ඉඩම් මංකොල්ලයට එරෙහිව නීතිමය පියවර ගැනීම යන ඉල්ලීම් ඉටුකර ගැනීම සඳහා ගොවීහු අරගල කරති.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...