31 C
Colombo
Saturday, April 20, 2024

අත දිග හැර ණය දී රටවල් සින්නකරගන්නා චීන උගුලට මැදිවුණු ලංකාව

- Advertisement -

චින ‘ණය උගුල් දේශපාලනය’ නිසා ඉදිරි කාලයේදී ලොව රටවල 10ක් චීනයට සින්නවීමට ඉඩ තිබෙන බව ආර්ථිකය සහ භූදේශපාලනය පිලිබද බුද්ධි මණ්ඩලයකින් සැදුම් ලත් ආයතනයක් වන think-tank Center for Global Development පෙන්වාදෙයි. මෙම වාර්තාව නිකුත් වී ඇත්තේ 2020 ජූනි මස පලමු වැනි දිනය. ලෝකයේ රටවල් රටවල් 68 ක් මෙම සමීක්‍ෂණයට භාජනය කොට ඇත. චීන ණය නිසා ලෝකයේ රටවල් 23ක් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්ව තිබේ. තවත් රටවල් 10ක් සම්පූර්ණයෙන්ම විනාශ වන තැනට පත්ව ඇත. මෙම රටවල් චීනයෙන් 6.2%ක වාර්ෂික පොලියකට ලබාගත් ණය මුදල් වෙනුවෙන් මේ වන විට 11.6%ක විශාල පොලියක් ගෙවීමට සිදු වීම ඊට හේතුවයි.

මෙලෙස ණය ලබාගත් බොහෝ රටවල දේශීය මුදල් ඒකක කඩා වැටෙන අනුපාතයට සාපේක්ෂව තත්වය වඩාත් බැරෑරුම්වී තිබේ. අදාල පොළිය සහ ණය වාරිකය ගෙවීමට මෙම රටවලට වත්කමක් නොමැති බව එම වාර්තාව පෙන්වාදෙයි. චීන ණය උගුල් දේශපාලනය නිසා බංකොලොත් තත්වයට පත්ව ඇති රටවල් 10 වන්නේ කිර්ගිස්තානය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තජිකිස්තානය, ජිබුති, මාලදිවයින, ලාඕසය, මොන්ගෝලියාව, මොන්ටෙනිග්‍රෝ සහ ඇන්ගෝලියාවයි. එම වාර්තාවේ පෙන්වාදී ඇති ආකාරයට ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මුහුදු සේද මාවතේ පිහිටි මර්මස්ථානයකි. ආදායමක් ලබා නොදෙන අවිධිමත් ව්‍යාපෘති චීන ණය යටතේ ක්‍රියාත්මක කිරීම නිසා ලංකාව චීන ණය උගුලේ සිරවී ඇති බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

අද වන විට, උක්ත වාර්තාවේ පෙන්වාදෙන කරුණු සියල්ල සැබෑවක් බවට පත්ව ඇත. යුද්ධයෙන් පසු සිය ජනප‍්‍රියතාව තවදුරටත් පවත්වා ගැනීමට රාජපක්ෂ රජය අනුගමනය කළ එක් උපක‍්‍රමයක් වූයේ දැවැන්ත ඉදිකිරීම් සිදු කිරීමයි. යුද්දෙන් පසුවද බොහෝ බටහිර රටවල් ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි මානව හිමිකම් ප‍්‍රශ්න අභිමුව මෙරටට සංවර්ධන ආධාර දීම සීමා කළ අතර එවරද ලංකාවේ පිහිටට පැමිණියේ චීනයයි. රට තුලට සිය උපක්‍රමික ‘ආර්ථික බුවල්ලාගේ’ අඬු විහිදුවිමට චීනයට එය මහඟු අවස්ථාවක් විය.

ඉන් අනතුරුව දැවැන්ත චීන ණයක් මත ඉදිකෙරුණු හම්බන්තොට වරාය අද වන විට චීනය විසින් මුළුමනින්ම අත්පත් කරගෙන සිටින අතර, මුලෝපායික වශයෙන් සිය ‘එක් තිරයක්-එක් මාවතක්’ (BRI) වැඩසටහනේ දකුණු ආසියාව සහ අප්‍රිකාව යාකරන තිරයේ පහළ කෙලවර සටහන් කර ඇත්තේ එමගිනි. මිට අමතරව චීන ණය මත ඉදිකෙරුණු නෙලුම් කුළුණ සහ හම්බන්තොට අනතර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව සහ හම්බන්තොට අන්තර්ජාතික ක්‍රීඩාංගනය වැනි දැවැන්ත අධික පොළී ව්‍යාපෘති රැසක් අදවන විට කිසිදු ප්‍රතිලාභයක් නොලබන, ඒ වෙනුවෙන් ණය පමණක් ආපසු ගෙවන හුදු ‘සුදු අලි’ පමණක් බවට පත්ව ඇත. මේ වන විට චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති අධික පොළී වාණිජ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 35 ඉක්මවන අතර, ඉන් එකදු ඩොලරයක් හෝ ප්‍රතිව්‍යුහගත කරදීමට චීනය කැමැත්ත පළකර නැත.

මිට මාස කිහිපයකට ප්‍රථම චීන විදේශ ඇමතිවරයා මෙරට සිදුකළ සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරදෙන ලෙස ඉල්ලා සිටි නමුත් චීනය එම ඉල්ලීම ‘අලුයම ලූ කෙළපිඩක්’ සේ බැහැර කළේය. ඇමෙරිකාවේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ශ්‍රී ලංකාවේ චීන මැදිහත්වීම් ගැන මිට සතියකට පමණ පෙර ලියූ ලිපියක්ද මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. එයින් හෙළිදරව් වන ලෝකයේ චීන ආර්ථික හා දේශපාලනික ආක්‍රමණයට අදාළ කරුණු පුදුම උපදවනසුලූ වුණත්, ඊට වඩා බැරෑරුම් ලෙස අප සැලකිය යුතු වන්නේ, ලංකාවේ දේශපාලන නායකයන්, චීනයට රට උගස් තියා ඇති ආකාරය ගැනය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති ගැඹුරු ආර්ථික අවපාතය පිළිබඳව සළකා බැලිය යුත්තේ මෙවැනි සන්දර්භයක් තුළය. මේ වන විට ශ්‍රී ලංකාව යම් පමණකින් හෝ ගලවා ගැනීමට ඉන්දියාව ඉදිරිපත්වී ඇති අතර, චීනයේ සහාය ලබන ඇතැම් කණ්ඩායම් විසින් එම ඉන්දීය උත්සාහයන්ද කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටින බව දැකගත හැකිය. රාජපක්ෂ ආණ්ඩුවේ දැඩි අත්තනෝමතික මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් 2021 වසර අවසන් වනතුරුම 2022 වසර ආරම්භයේදී රටට මුහුණදීමට සිදුවන උග්‍ර මුල්‍ය අර්බුදය හඳුනාගැනීමට ඔවුන්ට හැකියාවක් පැවතියේ නැත. එම නිසා තමන් උපකාර ලබාගත යුත්තේ කවුරුන්ගෙන්දැයි හඳුනා ගැනීමටද ආණ්ඩුවට බොහෝ කල් ගතවිය.

කෙසේවෙතත් අවසානයේ රාජපක්ෂ ආණ්ඩුවට සිය අවසන් ගැලවුම්කරුවා ඉන්දියාව බව වැටහී තිබිණි. චීනය වැනි අවස්ථාවාදී පාර්ශවයක් මෙන් නොව, පවත්නා ඓතිහාසික සම්බන්ධතා මත කිසිදු අවස්ථාවක ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව තමන් අතහැර නොයන බව ආණ්ඩුව අවසානයේ ප්‍රත්‍යක්ෂ කළේය. ඒ අනුව 2021 දෙසැම්බරයේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවෙන් නැවත වතාවක් සෘජු ආර්ථික ආධාර ඉල්ලා සිටියේය. එම ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් සිය ‘අසල්වැසි ප්‍රමුඛ’ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූ ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 5කට ආසන්න ණය සහන පැකේජයක් හඳුන්වා දුන්නේය. එම සහන පැකේජයට ඩොලර් මිලියන 500ක හුවමාරු ණය(SWAP) කල්දැමීමක්, තවත් ඩොලර් මිලියන 400ක නව හුවමාරු ණයක්, මිලියන 500ක ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් වූ ණය මාර්ගයක් (Credit Line) සහ ඩොලර් බිලියනයක අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් වූ ණය මාර්ගයක් ඇතුලත් විය. ඒ අතුරින් පළමු සහන ක්‍රියාමාර්ග සියල්ල මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති අතර ඩොලර් ‘බිලියනයක ණය මාර්ගය’ ඉදිරි සතිය තුල ක්‍රියාවට නංවන බව ඉන්දියාව ප්‍රකාශ කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී සිටින විදුලිය කප්පාදු කිරීමේ බරපතල ගැටලුව හමුවේ උපකාරයට පැමිණ සිටින්නේද ඉන්දියාවයි. ඊයේ දිනය වනවිට මෙරට දෛනික විදුලි කප්පාදුව පැය 13 දක්වා ඉහලගොස් තිබුණු අතර, බලධාරීන් පසුවන්නේ මෙරට මුහුදු සීමාව ආසන්නයට පැමිණ ඇති ඉන්ධන රැගත් නෞකා වෙනුවෙන් ගෙවීමට ඩොලර් නොමැතිව ලතවෙමිනි. එවැනි පසුබිමක පවා ඊයේ දිනයේ ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් අක්‍රියව ඇති ඩීසල් බලාගාර වෙනුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7000ක් ලබාදීමට ඉදිරිපත්වීමත් සමග ජනතාවට යම් සහනයක් ලැබෙන පරිදි විදුලිය කප්පාදු කරන පැය ගණන තවදුරටත් වැඩි නොකරන බව නිවේදනය කිරීමට රජයට හැකියාව ලැබිණි.

එපමණක්ද නොව, ඉන්දියානු ණය මාර්ගය යටතේ මෙරටට ලැබෙන තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අප්‍රේල් 02වැනිදා මෙරටට ලඟාවීමට නියමිත අතර, එම නෞකාවට පින්සිදුවන්නට තවත් දින කිහිපයකට කප්පාදුවක් යටතේ වුවද විදුලිය ලබාදීමටත්, දින 05කට වැඩි කාලයක් අඛණ්ඩව ඉන්ධනහල්වල හිස්වී තිබුණු ඩිසල් ටැංකි වෙත ඩිසල් ලබාදීමටත් රජයට හැකියාව ලැබී ඇත.

මේ සියල්ල අනුව එක් දෙයක් පැහැදිළි වේ.එනම් සිය වාසිය තකා රාජපක්ෂලා ලංකාව චීනයට උකස් කර ඇති අතර මේ වන විට ඒ කිසිවෙකුත් ජනතාව සමග නැත. චීනය ලංකාව ණය උගුලක සිරකර ඇති පසුබිමක ලංකාවේ ජනතාවට යම්තමට හෝ කන්න අදින්නට ලැබී ඇත්තේ ඉන්දියාවට ස්තුතිවන්නයට. ඒ අනුව මේ මොහොතේ සිදුකළ යුත්තේ බලවත් අසල්වැසියා සමග එක්ව නැගී සිටීම මිස අන් කිසිවක් නොවේ.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...