එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාගෙන ඇති බවයි.
කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරාගෙන ඇති බව සඳහන්.
මෙවර එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත් වූ සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය යි.
1946 දී පිහිටුවන ලද රටවල් 45 ක සාමාජිකත්වයෙන් යුත් මෙම කොමිසම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.