33 C
Colombo
Thursday, March 28, 2024

ශ්‍රී ලංකාව මේ මුහුණ දී සිටින්නේ එදා මෙදා තුර ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකටයි

- Advertisement -

මෙරට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය මාස කිහිපය තුළ උඩු යටිකුරු වී තිබෙන අතර තුන්වේල ආහාර ගත් ඇතැමුන්ට මේ වන විට එය එක්වේලකට සීමා කිරීමට සිදුව තිබීම කණගාටුවට කරුණක්.

රට තුළ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ හටගත් දේශපාලන අර්බුදය ද මේ වන විට මුළුමනින්ම යථාතත්ත්වයට පත් වී නැහැ.

අද වන විට ශ්‍රී ලංකාව, ලෝකය තුළ අන්ත අසරණ දිළිඳු රාජ්‍යයක් මට්ටමට පත්ව ඇති අතර ඉන්ධන නෞකාවකට ඩොලර් ගෙවා ගැනීමට හෝ වත්කමක් මේ වනවිට ශ්‍රී ලංකාව සතුව නොමැති වීම අර්බුදයේ තරම මැනවින් කියා පානවා.

මෙම සියලු කාරණා වලට මෙරට පාලකයන්ගේ උද්ධච්ච හා මෝඩ තීරණ බලපා ඇති අතර මහ බැංකුව වැනි වගකිවයුතු ආයතනයක ප්‍රධානීත්වය දැරෑ හිටපු මහ බැංකු අධිපතිවරයා පවා මෙරට ආර්ථිකය සමග පසුගිය සමයේ කටයුතු කර ඇත්තේ  කුඩා දරුවෙකු බෝලයක් සමග සෙල්ලම් කරන ආකාරයට බව දැන් පැහැදිලි වන කරුණක්.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයේ තරම කියාපාමින් කෙටි කාළයක් තුළ 5වන වරටත් මෙරට ඉන්ධන මිල ඉහළ ගියා.

ඒ අනුව, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 82 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420 ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් දමා ඇති අතර එහි නව මිල රුපියල් 450 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400 ක්.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 116 කින්.

මෙය මෙරට ඉන්ධන මිල රුපියල් 400අගය පසුකරමින්  මෙතරම් ඉහළම අගයක් දක්වා ඉහල ගිය පළමු වතාව වනවා.

මේ අතර සති 6 ක් තුළ අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රොටයිටර් පුවත්සේවයට පවසා තිබෙනවා.

”අපි දන්නවා තත්ත්වය ඉතා අසීරුයි. ඒ නිසයි අපි සහන දෙන්න බලන්නෙ.අඩුම තරමේ අවුරුදු දෙකක කාලයක් සඳහාවත් සහන වැඩසටහනක් ඇති කරන්න. ඒ සඳහා අන්තර්කාලීන අයවැයක් අවශ්‍යයි”

තව ද ඔහු සඳහන් කර ඇත්තේ, දෙවසරක සහන වැඩසටහනක් සඳහා අරමුදල් යොමු කිරීමට යටිතල පහසුකම් ව්‍යපෘති කප්පාදු කරන බවත් ණය පොලී ආපසු ගෙවිය හැකි බවට තහවුරු කිරීම වගේම පීඩාවට පත් අයට සහන සැලසීමටත් තවත් මුදල් අවශ්‍ය බවයි.

”නමුත් එය තනිව කරන්න බැහැ. අපිට රුපියල් ආදයම නෑ.දැන් අපිට තවත් ට්‍රිලියනයක මුදල් අච්චු ගහන්න වෙලා තියෙනවා. ඔබට දකින්න පුළුවන් වෙයි එය උද්ධමනයටත් බලපාන අකාරය”

මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් මුද්‍රණය කරන්නට සිදුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඉදිරි කාලය ජනතාවට තවත් දුෂ්කර වනු ඇති බවත් එම කාලය තුළ මෙරට උද්ධමනය 40% සීමාව ඉක්මවා යනු ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුන්නා.

කෙසේ වුවත් ආර්ථික අර්බුදයකට මැදිව සිටින ශ්‍රී ලංකාව මේ මොහොතේ උගත යුතු පාඩම් රැසක් වනවා.

එය යුක්රේන – රුසියා යුද්ධය දෙස හැරී බැලීමේදී ද අපට මැනවින් පසක් වන කරුණක්.

තමා අබියස සිටිනා බලවතා හඳුනාගැනීමට යුක්රේන රජය තවමත්  අපොහොසත් වීම මෙම ගැටුම මෙතරම් දුර ඇදි -ඇදී යාමට හේතු වී තිබෙනවා.

තමා අබියස සිටින බලවතා සමඟ එක්වී සහයෝගයෙන් රට ගොඩනැඟීමට කටයුතු කරනවා වෙනුවට, බටහිර රටවල් වල වහසි බස් වලට රැවටී යුරෝපා සංගමේ සමාජිකත්වය ලබා ගැනීමට යුක්රේනය උත්සාහ කිරීම,  රුසියාවේ දැවැන්ත ප්‍රහාරයකට යුක්රේනය ලක්වීමට හේතු වී තිබෙනවා.

විපත්තිකර අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවට බටහිර රටවල් දිගින් දිගටම යුක්රේනයට ප්‍රකාශ කළ ද එය මේ වන විට හුදු ප්‍රකාශයන්ට පමණක් සීමා වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් තවදුරටත් බැට කෑමට සිදු වුණේ  යුක්රේන ජනතාවටම වීම කණගාටුවට කරුණක්.

යුක්රේන – රුසියා අර්බුදය දෙස අවධානය යොමු කිරීමේ දී ඉන් ශ්‍රී ලංකාවටද උගත හැකි පාඩම් රැසක් වනවා.

මක්නිසාදයත් ශ්‍රී ලංකාව ද පසුගිය සමය තුළදී අසල්වැසි ඉන්දියාව සමග සබඳතා ශක්තිමත්  කරගන්නවාට වඩා චීනය පසුපස හඹා යාමේ නොතිත් ආශාවකින් කටයුතු කිරීම කැපී පෙනුනු කරුණක් වුණා.

අසල්වැසි කලාපීය බලවතා වන ඉන්දියාව ලඟින් සිටියදීම මෙරට සියලුම පාහේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීමට පසුගිය රජයන් රැසක්ම කටයුතු කර තිබුණේ චීනයෙන් පමණක් වීම විමතිය ගෙනදෙන්නක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අයහපත් ආර්ථික වටපිටාවෙන් මිදී යන්තමින් හෝ හිස එසවීමට නම් මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ක්‍රමිකව ඉහළ නංවා ගැනීම අත්‍යන්තයෙන්ම කළ යුත්තක්.

කෙසේ වෙතත් ඒ සදහා කළණ මිතුරු වෙසින් සහය දක්වන බව චීනය පුන පුනා කීවත් එය මහපොළොවේ යථාර්තයක් වී ඇත්ද යන්න බරපතළම ගැටළුවක්.

තතු දත්උන් පවසන්නේ ලොව ආර්ථික බලවතා වීමේ අරමුණින් , දිළිදු රටවල සාරය උරාබොන යක්ෂයෙකුගේ වෙස් ගත් චීනය මේ වන විට ලොව රටවල් රැසක් සිය දැවැන්ත ණය උගුල් වලට හසුකර අවසන් බවයි.

මිත්‍ර සෙයියාවෙන් සිදුවන මෙම ආක්‍රමණයන් තේරුම් ගැනීමට බොහෝ රටවලට පසුකාලීනව හැකි වුවත් එහි කිසිදු ඵලක් නොවන්නේ ඒ වන විටත් අශ්වයා පැනගොස් අවසන් බැවින්. 

ශ්‍රී ලංකාව පිළිබදවත්, චීනය අනුගමනය කරන මෙම ප්‍රතිපත්තිය එසේ නොවන්නේදැයි කිව හැක්කේ කාටද?

මෙරට බලධාරීන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින බරපතල අර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට නම් මේ මොහොතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4-5ක මුදලක් ප්‍රමාණවත්.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ එවැනි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ නම් ශ්‍රී ලංකාවට පවතින ආර්ථික අවපාතයෙන් ගොඩඒමට ක්‍රමයක් සොයා ගත හැකි වනු ඇති බවයි.

කෙසේ වෙතත්  වහසි බස් දොඩවන චීනයේ නිල විදෙස් සංචිත ප්‍රමාණය , ලොව විශාලතම විදෙස් සංචිත අගය වන අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3220කටත් වඩා වැඩි අගයක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විටින් විට විශේෂ හිතමිතුරු කමක් චීනය දැක්වුවද සැබෑ ලෙසම චීනය අපට හිතවත්ද යන පැනය මේ මොහොතේ ඇසිය යුත්තක්.

චීනය , අමෙරිකානු ඩොලර් බිලියන 3220 ක , විදෙස් සංචිත ප්‍රමාණයකට හිමිකම් කීවත් අප රට මෙතරම් ආර්ථික අර්බුධයකට මුහුණ පා ඇති අවස්ථාවකදී ඹවුන් අප පිහිටට පැමිණෙන්නේ සුළු මුදල් ප්‍රමාණයක් පමණක් අප වෙත විසි කරමින් පමණක් වීම කැපී පෙනෙන සිදුවීමක්.

එලෙස ලබා දෙන ඩොලර් මිලියන ගණනටද අපට චීනය වෙත ඍඡු හා වක්‍ර ලෙස මෙරට දේශීය සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමට හෝ දීර්ඝ කාළීන බදු දීමට සිදුවනවා.

මීට අමතරව චීනය විසින් අප වෙත ලබා දී ඇති විදෙස් ණය සදහා තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුව ඇති බවටත් මේ දක්වා වාර්තා වී නැහැ.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමද මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටළු වලින් මිදීමට ඇති එක් මගක් වනවා.

මීට අමතරය චීනව විසින් විටින් විට ශ්‍රී ලංකාව සමග එළඹ ඇති අවබෝධතා  ගිවිසුම් මගින් දෙරටටම ප්‍රතිලාභ හිමිවන බව පැවසුනද සැබැවින්ම ගතවූ කාළසීමාව තුල එය සිදුවී ඇත්ද යන්න විශාල ගැටළුවක්.

මක්නිසාදයත් අතීත ගිවිසුම් හා දෙරටේ  ගනුදෙනු පිළිබද සමාලෝචනය කිරීමේදී පෙනීයන වැදගත්ම කරුණක් වන්නේ මෙවැනි ගිවිසුම් හා එකගතාවයන් මගින් චීනය , ශ්‍රී ලංකාවේ සාරය විටෙන් වුට විට පසුගිය 65 වසර පුරාම උරාබී ඇති බවයි.

තත්ත්වය එසේ වුවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලදී ගැනීම් සඳහා පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ණයක් සහ ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මාර්තු මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක ණයක් ඇතුළුව, වසර ආරම්භයේ සිටම ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා.

මීට අමතරව ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 2ක මානුෂීය ආධාර තොගයක පසුගිය මැයි 22 දා නිල වශයෙන් මෙරටට ලබා දීම ද සිදුකෙරුණා.

එම ආධාර තොගයේ සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ මෙට්‍රික් ටොන් 25කට අධික ඖෂධ හා වෛද්‍ය සැපයුම් අඩංගු වූ අතර මැයි 18 වන දා තමිල් නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් මෙම ආධාර තොගය චෙන්නායි වරායෙන් මෙරටට පිටත් කර එවා තිබුණා.

තමිල් නාඩු රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ සැපයීම යටතේ පැමිණෙන පළමු තොගය මෙය වන අතර එහි මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.5කට වඩා අධිකයි.

රජය පැවසුවේ මෙම මානුෂීය ආධාර තොගය මෙරට උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් ඇතුළුව රට පුරා සිටින ප්‍රතිලාභීන් අතර බෙදා හැරීමට නියමිත බවයි.

මෙම සියළු කරුණු අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම බැරෑරුම් අවස්ථාවේදී පවා ඉන්දියාව අප සමග අයෝමය ශක්තියක් ලෙස එකට සිටින අතර චීනය , ඉදිරියටත් ශ්‍රී ලංකාවට සත් භාවයෙන් යුතුව සහයෝගය ලබා දෙයිද යන්න බරපතල ප්‍රශ්ණයක් බවයි.

ඒ අනුව සැබෑ මිතුරා කවුරුන් ද  යන්න හදුනා ගැනීමට මෙය ශ්‍රී ලංකාවට ඇති හොදම අවස්ථාවද වනවා.

RECENT ARTICLES - SINHALA

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...