31 C
Colombo
Wednesday, February 12, 2025

උතුරේ ඉඩම් කඩිනමින් ජනතාවට ලබා දීමට පියවර

- Advertisement -

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ පවසනවා.

රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවද කියා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා.

යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළා.

ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමට මෙහිදී අවධානය යොමු වුණා.

උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙන බවද ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවයි.

ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනා ගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළා.

උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත්වන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන කරන බවද පැවසුවා.

උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය , කෘෂි කර්මාන්තය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කළා.

ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියා.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානන්දන්, ආචාර්ය සරවනබවානන්දන් ෂන්මුගනාදන්, රජිවන් ජෙයචන්ද්‍රමූර්ති, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ (AITC) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන මහත්වරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් යන මහත්වරු, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ උතුරු ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...